hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 02, ප.ව. 1:45



කොණ්ඩය සහ රැවුල බූ ගා දමන ලෙසත් සපත්තු නොදා සෙරෙප්පු දමන ලෙසත් අත් ඔරලෝසු නොපලඳින ලෙසත් පවසමින් ජේ‍යෂ්ඨ සිසුන් පිරිසක් තමාට පහරදුන් බව කියමින් කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු කිරිබත්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහෙත් තමා මේ සෑම දේටම විරුද්ධ වීම නිසා විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ සිසුන් පිරිසක් තමාව විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවක් වෙත රැගෙන ගොස් තමාගේ මුහුණට සහ ඇඟට පහරදුන් බවත් ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබෙන බව වාර්තා වෙනවා.

පහරදීම සිදු කළේ තමාව රැගෙන ගිය ජේ‍යෂ්ඨ සිසුන් කණ්ඩායමේ තුන්දෙනකු විසින් බවද ඔහු පවසා තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ සිසුන් පිරිසක් තමාට මෙසේ නවකවදය ලබාදීමක් සිදු කිරීම එම විශ්වවිද්‍යාලයේම දෙවැනි වසරේ සිසුවා පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ඉකුත් ඔක්තෝබර් 31 වැනිදා සවස් කාලයේයි.

පැමිණිලිකරු වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා ඇත්තේ පහරදීම සිදුවන අවස්ථාවේ ජේ‍යෂ්ඨ සිසුන් 7 දෙනකු සිටි බවත් ඔවුන් නම් වශයෙන් තමා නොදන්නා බවයි.

එහෙත් නැවත දුටුවහොත් තමාට ඔවුන් හඳුනාගත හැකි බවද පැමිණිලිකරු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

කෙසේ වෙතත් පැමිණිලිකරු රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලිසිය පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.