hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 24, පෙ.ව. 10:56



කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකට පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයන් 06 දෙනකු මියගොස් පවුල් 1,298කට අයත් පුද්ගලයන් 4933ක් පීඩාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඊට අමතරව තිදෙනකු තුවාල ලබා එක් අයකු අතුරුදන් වී ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) ඇතැම් ස්ථානවලට මි.මී. 100කට වැඩි තද වැසි ඇති විය හැකි බව එම මධ්‍යස්ථානය දන්වයි.

දිස්ත්‍රික්ක 11කට ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.නිවාස 09ක් පූර්ණ ලෙස හානියට පත්ව තවත් නිවාස 381කට අර්ධ හානි සිදුව තිබෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම, කොළඹ, කළුතර, කෑගල්ල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

උතුරු අන්දමන් මුහුදු ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින අඩු පීඩන තත්ත්වය විශේෂයෙන් ඉදිරි දිනවල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින බවට අනතුරු ඇඟවෙනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත  වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිව ඉල්ලා සිටින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.

මේ අතර දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා කඳු කඩා වැටීම්, නායයෑම් සම්බන්ධයෙන් ගොඩනැඟිලි පර්යේෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදියර 1 සහ අදියර 2 යටතේ අවදානමක් තිබෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දැරණියගල, මාවනැල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දෙහිඕවිට, වරකාපොළ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්නපුර, නිවිතිගල, ඇහැලියගොඩ, කුරුවිට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ගොඩනැඟිලි පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.

ධාරානිපාත වර්ෂාවත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් වර්ෂා ජලයෙන් යටවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගාල්ල – වක්වැල්ල ප්‍රධාන මාර්ගයේ හපුගල ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ලවී ඇත. මේ අතර ගාල්ල-බද්දේගම ප්‍රධාන මාර්ගයේ කහදුවත්ත හා හිරිඹුර යන ප්‍රදේශද වර්ෂා ජලය නිසා යටවී තිබිණි. අධික වාර්ෂාවත් සමඟ රත්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රත්ගම, දේවිනිගොඩ, කුලීගොඩ, හාලිවල, මැදවල යන ගම්මාන වර්ෂා ජලයෙන් යටවීම නිසා එම ගම්මානවල ජනතාව දැඩි පීඩාවට ලක්ව සිටිනවා.

මේ අතර මාදම්පාගම, අකුරල යන ප්‍රදේශද වර්ෂා ජලයෙන් යටවී ඇත. රත්ගම, මාදම්පාගම යන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිවාස රැසක් වර්ෂා ජලයෙන් යටවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවසුවා.

මාදම්පාගම මෝය කට විවර කිරීමට කටයුතු කරමින් සිටින බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

ධාරානිපාත වර්ෂාවත් සමඟ ගිංගඟේ ජල මට්ටමද වැඩි වී ඇති බව ගිංගඟ වාරිමාර්ග  ඉන්ජිනේරු පියුමි ද සිල්වා මහත්මිය සඳහන් කළා.

ඊයේ (23) උදෑසන 6.00 පමණ වනවිට  ගිංගඟේ බද්දේගම ජලමාපකයේ ජල මට්ටම  මීටර් 3.88 දක්වා වැඩි වී ඇති බවද ඇය සඳහන් කළා.

බද්දේගම ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන බව සඳහන් කළ වාරිමාර්ග ඉන්ජිනේරුවරිය  බද්දේගම ප්‍රදේශය ආශ්‍රිතව ඇති පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවද පැවැසුවාය. මහමෝදර හා ගිංතොට මෝය කටවල් විවර කිරීම නිසා ජලය බැසයන බවද ඇය කියා සිටියා.

ඊයේ රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පහත්බිම් මේ වන විට ජලයෙන් යටවී ඇති අතර නිවාස විශාල සංඛ්‍යාවක් ජලයට යට වී නිවැසියන්ගේ බඩුමුට්ටු විනාශ වී ඇති අතර ඔවුන්ට වියළි සලාක හා වෙනත් අත්බෙහෙත් ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවශ්‍ය වී තිබෙනවා.

ඒ අනුව අම්බලන්ගොඩ විද්‍යාල මාවත විහාරගොඩ, බළපිටිය, අම්බලන්ගොඩ – ඇල්පිටිය,  කරන්දෙණිය – බළපිටිය, අහුන්ගල්ල ඇතුළු තදාසන්න ප්‍රදේශ සම්පූර්ණයෙන්ම පාහේ මේ වනවිට ජලයෙන් යටවී ඇති අතර මේ වනවිටත් තද වැසි ඇදහැලෙමින් පවතිනවා.

එසේම අධික වර්ෂාව හේතුවෙන් ජලාශ, දිය ඇලි, වැව් සහ ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් පැවැතීම නිසා විවිධ සංචාරවල නිරත වන පුද්ගලයන්ට එම ගංගා ඇළ ‍ෙදාළවල සිදුවන ක්‍රියාකාරකම්වලදී සැලකිලිමත් වන ලෙස පොලිස් මූලස්ථානය මහජනයාට දැනුම් දෙනවා.

ඒ විවිධ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් දිවයිනේ නන් දෙසින් අනතුරු වාර්තා වීම නිසායි.

ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාව ලැබීම හේතුවෙන් දියඇලි සහ ගංගාවල ජල මට්ටම එක්වරම ඉහළ යා හැකි බැවින් ගංගා පහළ ප්‍රදේශවල වාසය කරන පදිංචිකරුවන්ට සහ විවිධ සංචාරවල නිරතව සිටින පුද්ගලයන්ට සිය ක්‍රියාකාරකම් කිරීමේදී සැලකිලිමත් වන ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.

දියඇලි, වැව්, ගංගා සහ වෙරළ තීර ආශ්‍රිතව දිය නෑමෙන් වළකින ලෙසත් එම ස්ථාන ආශ්‍රිතව රාජකාරි නිරතව සිටින ජීවිතාරක්‍ෂක සහ ප්‍රජා පොලිස් නිලධාරීන් විසින් ලබාදෙන උපදෙස් පරිදි ක්‍රියා කරන ලෙසත් එම ස්ථානවල ප්‍රදර්ශනය කර ඇති අවවාදාත්මක දැන්වීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් මත්පැන් පානය කර දිය නෑමෙන් වළකින ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.