hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අප්‍රේල් 23, ප.ව. 1:24



රඹුක්කන පසුගියදා ඇතිවූ විරෝධතාව අතරතුර ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න මහතා බව අද අධිකරණය හමුවේ අනාවරණ වුණා.

මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා පත්කළ කමිටුව කෑගල්ල මහේස්ත්‍රාත්වරිය වෙත විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ එම නොසන්සුන්තාව පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන කණ්ඩායම ටී-56 ගිනි අවි 04 ක් සහ උණ්ඩ 35 ක් භාවිත කර ඇති බවයි.

සිද්ධියේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගෙන් මෙන්ම සිවිල් වැසියන් 51 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා.

නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන කණ්ඩායම් භාවිත කර ඇත්තේ කෑගල්ල මූලස්ථාන පොලිසිය නිකුත් කළ ගිනි අවි පමණක් බවද ඔවුන් අධිකරණය හමුවේ කියා සිටියා.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් විමසා සිටියේ සිදුවීම අතරතුර බව්සරයට ගිනි තැබීමට උත්සාහ කළ පුද්ගලයා හඳුනාගෙන තිබේද යන්නයි.

ඊට පිළිතුරු දුන් පොලිසිය කියා සිටියේ මෙතෙක් ඒ පිළිබඳ හඳුනාගැනීමක් සිදුව නොමැති අතර, ප්‍රකාශ සටහන් කරගත් තුවාල ලැබූවන් අතර එවැනි අයෙකු නොසිටි බවයි.

අනතුරුව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේ කෑගල්ල කොට්ඨාසය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්ති රත්න මහතායි.

සාක්ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේ කිහිප දෙනෙකු ගිනි පෙට්ටි සහ ලයිටර් අතැතිව බවුසරයට ගිනි තැබීමට ඒ දෙසට පැමිණි බවයි.

එම අවස්ථාවේදී කඳුළු ගෑස් එල්ල කර ඔවුන්ව පාලනය කිරීමට උත්සාහ කළත්, අවසානයේ එය අසාර්ථක වූ බැවින් දණහිසෙන් පහළට වෙඩි වාර කිහිපයක් තැබීමට තමන් නියෝග කළ බවයි ඔහු පැවසුවේ.

එම නියෝගය සද්භාවයෙන් සිදුකළ බවත්, මෙම සිදුවීමේදී තමන් ඇතුළු පොලිස් නිලධාරීන් 20 දෙනෙකු පමණ තුවාල ලැබූ බවත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියා.