hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 අප්‍රේල් 23, ප.ව. 7:44



අධිකරණ නියෝග මත මාකොළ ළමා නිවාසයේ රඳවා සිටි සැකකාර දරුවන් තිදෙනෙකු භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කර සිටියේ, බන්ධනාගාර බුද්ධි අංශය වෙත ලද වීඩියෝවකට අදාළව එම නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව විනය පරීක්ෂණයකට යටත්ව එම තීරණය ගෙන ඇති බවයි.

 නඩු කටයුත්තකින් අනතුරුව අප්‍රේල් 18 වනදා යළි රැඳවුම් මධ්‍යස්ථානයකට සැකකාර සිසුන් තිදෙනෙක් රැගෙන යමින් තිබූ වෑන් රථයක් මහමඟ නවතා, ඔවුන්ට බඩු භාණ්ඩ ලබාදීමට පිරිසක් කටයුතු කළ බවට බන්ධනාගාර බුද්ධි අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද චන්දන ඒකනායක මහතා අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම චන්දන මහතා සඳහන් කර ඇත්තේ, ඉදිරියේදී විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු වැඩතහනම් කළ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.