hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 පෙබරවාරි 20, පෙ.ව. 7:05



මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන ලද ජනරජ පෙරහර ඊයේ (19) මහනුවර නගරයේ දී වීථි සංචාරය කෙරිණි.

එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙම පෙරහර සංවිධානය කර තිබුණේ 75 වන නිදහස් දින සැමරුමට සමගාමීවයි.

ඊයේ පස්වරු 6.45ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වූ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවදීමෙන් පෙරහරේ කටයුතු අවසන් වුණා.

අලි ඇතුන් සහ දළදා මාළිගාවේ මෙන්ම සතර මහ දේවාලවල නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහර සංස්කෘතිකාංගවලින් මෙම ජනරජ පෙරහර විචිත්‍රවත් වුණා.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ද අරමුණු කර ගනිමින් මෙය සංවිධානය කෙරුණු අතර පෙරහර නැරඹීම සඳහා අති විශාල ජනකායක් වීථි දෙපස රැස්ව සිටියා.

රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කෙරෙනවා.

කන්ද උඩරට රජකම් කළ පුරාණ රජවරුන් විශේෂ ආගමික අවස්ථාවන් මුල් කරගනිමින් මෙවැනි පෙරහරවල් පවත්වා ඇති අතර අපගේ රජවරුන්ගේ පාලනය ගිලිහී ගොස් 1815 දී බ්‍රිතාන්‍ය කිරීටයට මෙරට යටත් වීමෙන් පසු පළමු වරට රජ පෙරහැර පෙරහැරක් පැවැත්වූවා යැයි වාර්තා වන්නේ වේල්සයේ කුමරු යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ වික්ටෝරියා රැජනගේ පුත් වේල්සයේ ආදිපාද වරයා කන්ද උඩරට සංචාරයක යෙදුණු 1875 වසරේදීය . එම ආදිපාදවරයා ඓතිහාසික පත්තිරිප්පුවේ සිට එම පෙරහැර නැරඹුවා යැයි සඳහන්ය.

ඉන් අනතුරුව රජ පෙරහැරක් පවත්වා ඇත්තේ 1854 වසරේ අප්‍රේල් මාසයේ මෙරට සංචාරයක නිරත වූ දෙවැනි එළිසබත් මහ රැජින වෙනුවෙන්. ඇය වත්මන් මැද්දුම බණ්ඩාර උයනේ ඩී එස් සේනානායක පිළිරුව පිහිටුවා ඇති ස්ථානයේ පත්තිරිප්පුව හැඩයට සකස් කරන ලද විශේෂ පීඨිකාවක සිට එම පෙරහර නැරඹුවා යැයි සඳහන්.

ඉන් අනතුරුව 1978 වසරේදී ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා වෙනුවෙන් විශේෂ පෙරහැරක් සංවිධානය කොට ඇති අතර එයද ජේ ආර් ජයවර්ධන මහතා විසින් ඩී එස් සේනානායක පිළිරුව අසල ඉදිකරන ලද විශේෂ පීඨිකාවක සිට නරඹා තිබෙනවා.

ඉන් අනතුරුව 1981 වසරේ දී වික්ටෝරියා වේල්ල විවෘත කිරීමට පැමිණි දෙවැනි එලිසබෙත් මහ රැජින වෙනුවෙන් විශේෂ පෙරහැරක් පවත්වා ඇති අතර එයද ඇය නරඹා ඇත්තේ ඩී එස් සේනානායක පිළිරුව අසල පත්තිරිප්පුව හැඩයට සකස් කරන ලද විශේෂ පීඨිකාවක සිටයි.

1987 වසරේදී දළදා සමිඳුන් වෙනුවෙන් ඉදි කොට පූජා කරන ලද රන් වියන විවෘත කිරීමේ උත්සවය සිහිකරනු වස් විශේෂ පෙරහැරක් පවත්වා ඇති අතර එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ රණසිංහ ප්‍රේමදාස මහතා එම පෙරහැර රැජිණ හෝටලයේ පළමු මහලේ ඉදිරිපස ඇති පීඨිකාවේසිට නරඹා තිබෙනවා.

පෙරහැර පෙලගැස්ම

මෙවැනි පෙරහැර වල පෙළගැස්ම පිළිබඳව සොයා බැලීම ඉතා වැදගත් වන අතර එහි පෙළ ගැස්ම දළදා පෙරහැර පෙළගැස්මට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. දළදා පෙරහැරේ ගමන් කරන සිව් මහා සිව් මහා දේවාලයන්හි පෙරහැර මෙහි ගමන් නොකරන අතර රන්දෝලි මහ පෙරහැර ට සමාන අලි ඇතුන් යොදවා එම පෙරහර ගමන් කරන දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, වීදිය ඩී එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කොට පෙරහර නිමා කිරීමට නියමිත අතර පෙරහැර ගෙවදීමක් සිදු නොවේ.

පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමත් සිදු නොවන අතර ඒ වෙනුවට ජනරජ ලාංජනය පෙරහැරේ ගෙන යනු ලැබේ.

දළඳා මාලිගාවේ මාළිගාවේ දියවඩන නිළමේවරයා පෙරහරේ පළමුවෙන් ගමන් කරන අතර ඊට පසුපසින් සිව්මහා දේවාලයන්හි නිලමේවරුන් ගමන් කිරීම සිදු කෙරෙනවා. ඊට පිටුපසින් පිටිසර දේවාලයන්හි නිළමේවරුන් ගමන් කරන අතර ඒ අනුව නිළමේවරුන් 14 දෙනකු පෙරහැරේ ගමන් කරනවා.