hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 14, පෙ.ව. 7:07



දෙමළ බෙදුම්වාදී මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් සංහාරයට අනුකූලතාව ලබාදෙන, එසේම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා එම තනතුරෙන් ඉවත් වන තැනට බලපෑම් සිදු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාපිළිවෙත දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අවධාරණය කරනවා.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (13) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  සමරවීර මහතා මෙසේද සඳහන් කළා.

“ශ්‍රී ලංකාවේ වසර 2500ක ඉතිහාසය අභිමානයෙන් ලොවට හඬ ගා කියන, ‘අපේ පුරාවිද්‍යා ස්මාරකයන්’ මේ වන විට බොහෝ සෙයින් විනාශයට පත්වෙමින් තිබෙනවා. දැන් උතුරු නැඟෙනහිර සිදු වන්නේ පුරාවිද්‍යා උරුමයන් සංහාරයක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් සංහාරයට අනුකූලතාව ලබාදී නිහඬව සිටිනවා. මේ තත්ත්වය අපි දිගින් දිගටම පෙන්වා දුන්නා.

මෙම පුරාවිද්‍යා සංහාරයේ ඛේදනීය අවස්ථාවක් පසුගියදා සනිටුහන් වුණා. එය සිදු වූයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද කැඳවමින් පසුගිය ජුනි 8 වැනිදා ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමග පැවැත්වූ සාකච්ඡාවේදීයි. එහිදී සුමන්තිරන් සහ රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් උතුරු නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකරමින් සිටින පුරාවිද්‍යා ගවේෂණ දැඩි විවේචනයට ලක් කරමින්, දෙමළ ජනතාව ඉන් අගතියට පත්වන බවට ව්‍යාජ මතයක් ජනාධිපතිවරයා ඉදිරියේ තැබුවා. කලින් කතා කරගත් පරිදි ජනාධිපතිවරයා ඒ මතයට එකඟ වෙමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාටත් එම දෙපාර්තමේන්තුවේ සෙසු නිලධාරීන්ටත් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළා. කුරුන්දි අශෝක විහාර පුරාවිද්‍යා ස්මාරකය මුල් කරගෙන තමයි මේ සාකච්ඡාව පැවැත්වුණේ.

කුරුන්දි අශෝක විහාරය කියන්නේ 1831දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරන ලද නාග චෝල වනාන්තරේ පිහිටා තිබෙන, ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා දිව යන විශේෂ පුරාවිද්‍යා ස්මාරකයක්. මෙම නාගචෝල වනාන්තරේ වපසරිය හෙක්ටයාර 6815ක්. බ්‍රිතාන්‍ය පාලන සමයේදී පවා අක්කර හැත්තෑහතරක් කුරුන්දි අශෝක විහාර පුරාවිද්‍යා ස්මාරකයට වෙන්කරනු ලබනවා. පසුව සිදු කරන ලද පුරාවිද්‍යා ගවේෂණවලදී අනාවරණය වූ තොරතුරු මත නාගචෝල වනාන්තරයේ තවත් අක්කර 249ක් මෙම පුරාවිද්‍යා ස්මාරකයට අයත් වන සේ මායිම් ගල් යොදමින් වෙන්කරනු ලබනවා.

එදා එල්ටීටීඊ ප්‍රාදේශීය නායකයකු වූ ශෂී කුමාර් නැමැත්තා ඇතුළු පිරිසක් පසුව මෙම නාගචෝල වනාන්තරයේ අක්කර දහස් ගණනක් එළි කිරීමට මූලිකත්වය ගන්නවා. එහිදී එම පිරිස කුරුන්දි අශෝක විහාරය අයත් පොකුණ, වැවක් බවට පත් කරලා එම ප්‍රදේශයේ ගොවිතැන් කිරීමට උත්සාහ කරනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පොලිසියට මේ පිළිබඳව දිගින් දිගටම පැමිණිලි කරනවා. සුමන්තිරන්ලා සහ රාසමානික්කම්ලා ‘වසර 100ක් තිස්සේ වගා බිමක් ලෙස තිබුණා’ කියා කියන්නේ මේ වැවත් සමඟ අක්කර 5ක පමණ කොටසකටයි.  ඒක අමූලික බොරුවක්. මේ අක්කර පහ හෙළිපෙහෙළි කර ඇත්තේ 2018දී පමණ.

මේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ව්‍යාජ තොරතුරු පිළිඅරගෙන තමයි රනිල් වික්‍රමසිංහ මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාට කියන්නේ, ‘මේක වහාම වගා කරන අයට දෙන්න’ කියලා. ඒ වගේම එහිදී රනිල් වික්‍රමසිංහ මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අහනවා, ‘කුරුන්දි අශෝක විහාරයට ඇයි අක්කර තුන්සියයක්? ඒක මහා විහාරයටත් වඩා, ජේතවනාරාමයටත් වඩා ලොකු ද?’ කියා.

රනිල් වික්‍රමසිංහ කියන්නේ අපේ ඓතිහාසික නාමකරණයට අලුත් අර්ථකථන දුන්නු කෙනෙක්. එක් වතාවක අගලවත්තේදී ඔහු කිව්වා, ‘පස්දුන්රට කියන්නේ පස්වලින් පුරෝපු රට’ කියා. තොප්පිගලට කිව්වා, ‘ගල් ගෙඩියක්’ කියා. ඒ වගේම ඔහු හිතන්නේ, ‘මහා විහාරය කියන්නේ මහා ඉඩම් ප්‍රමාණයක් තිබුණු නිසා’ කියලයි. නමුත් අපි කවුරුත් දන්නවා මහා විහාරය කියන්නේ ‘ලාංකේය භික්ෂු වංශයේ තිඹිරිගෙය’ කියා.

තමන්ගේ විධායක බලතල පාවිච්චි කරමින්, නොදන්නා ඉතිහාසයක් ගැන නන්දොඩවමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉහත රැස්වීමේදී පල නොකියා පලා බෙදනවා. ‘මායිම් ගල් ගලවන්න බැරි නම් මම ගලවන්න ද?’ කියා අසනවා. මේ අවාසනාවන්ත තත්ත්වය මත තමයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධ්‍යයන කටයුතු සඳහා යැයි කියමින් ජුනි 15 වැනිදා සිට තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන්නේ. කුරුන්දි අශෝක විහාර පුරාවිද්‍යා ස්මාරකයේ නටඹුන් රාශියක් තිබෙන ප්‍රදේශයක  මායිම් ගල් ඉවත් කරන්න කියායි රනිල්  වික්‍රමසිංහ දැන් කියන්නේ.

මීට ඉහතදීත් මේ දෙමළ බෙදුම්වාදී මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නියෝගයක් ලබාදී තිබෙනවා. ඒ තමයි ‘පුරාවිද්‍යා ස්මාරක සහ ප්‍රදේශ ගැසට් කිරීමේ බලය පුරාවිද්‍යා විෂය භාර ඇමතිවරයාට සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට තිබුණාට ඒවා ගැසට් කිරීමට කලින් අදාළ ලේබන කැබිනට් මණ්ඩලයට එවන්න’ කියා. කැබිනට් එකට එවන්න කියන්නේ අදාළ පුරාවිද්‍යා ස්මාරක හා ප්‍රදේශ ගැසට් නොකර සිටින්නයි.

දෙමළ බෙදුම්වාදීන්ගේ උවමනාව අනුව උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් සංහාරයට ඉඩ දී බලා සිටින, එම පුරාවිද්‍යා උරුමයන් රකින්න උත්සාහ කරන නිලධාරීන්ට තර්ජනය කරන, ඔවුන් බියට පත් කරන ජනාධිපතිවරයාට අපි අවධාරණය කරනවා, ‘ඔබට මෙහෙම කරන්න ජනවරමක් නැහැ. ඔබට ලැබුණේ ගෝඨාභය රාජපක්ෂගේ ජනවරමේ ඉතිරි කාලය ඊට අනුකූලව ක්‍රියාත්මක කිරීමටයි’ කියා. එසේම පුරාවිද්‍යා නිලධාරීන්ට අපි කියනවා, ‘ඔබ වගකියන්න ඕන අවුරුදු පහකට පත්වන ජනාධිපතිවරයකුට හෝ ඇමති මණ්ඩලයකට නොවෙයි, පුරාවිද්‍යා ආඥා පනතටයි’ කියා.  1890දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා හඳුන්වා දුන් දාගැබ සහිත ලාංඡනය ඉවත් කිරීමට, දෙමළ බෙදුම්වාදීන්ගේ උවමනාව පරිදි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තමාට ආපු බලපෑමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා යට නොවුණු බව ද ඔහුට ගෞරවයක් වශයෙන් අපි මෙහිදී සඳහන් කරන්න කැමතියි.”