hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 10, ප.ව. 11:00



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබීම හේතුවෙන් මෙතෙක් ගණනය කළ හානිය රුපියල් මිලියන 205 ඉක්මවා ඇතැයි නීතිපතිවරයා අද (10) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයාව සිටියදී භාවිත කළ නිල රථයට වී ඇති හානිය රුපියල් මිලියන 191ක් බව ත් නිවසට වී ඇති හානිය රුපියල් මිලියන 14.5ක් බව ත් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කර තිබෙනවා.

එමෙන් ම, එම සිද්ධියේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිව්වන සැකකාර අරුල් ප්‍රකාශ් ලබන 12 වන දා කටහඬ පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබෙනවා.

මේ අතර, කොල්ලුපිටියේ පිහිටි අරලිය ගහ මන්දිරයට කඩාවැදුණු පුද්ගලයින් එහි තිබූ භාණ්ඩවලට පමණක් රුපියල් කෝටි දෙකකට වැඩි අලාභයක් සිදුකර ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ අද (අගෝ. 10) දන්වා තිබෙනවා.

එම අලාභය සිදුකර ඇත්තේ, භාණ්ඩවලට පමණක් බව ත් ගොඩනැගිලි හානි සම්බන්ධයෙන් විමර්ශන තවමත් සිදුකරන බව ත් පොලිසිය එහිදී කරුණු දක්වා තිබෙනවා..

අරගලකරුවන් විනාශ කළ භාණ්ඩ අතර ලැප්ටොප්, කැමරා ඇතුළු වටිනා උපකරණ 75ක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර ඇතැයි ද පොලිසිය නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ කරුණු දක්වමින් කියා සඳහන් කර තිබෙනවා.

එහිදී මෙම සිද්ධියට අදාළව භාණ්ඩ සොරකම් සම්බන්ධයෙන් අනාවරණය වූ සැකකරුවන් තිදෙනෙක් තවදුරට ත් ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති මහෙස්ත්‍රාත්වරයා එහි රැඳී සිටිමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බව කියන සැකකරු ඇතුළු සිව්දෙනෙකු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින ලෙස ද නියෝග කර තිබෙනවා.

අරලියගහ මන්දිරයේ CCTV පද්ධතියට හානි කර විනාශකර ඇති බව ත් අරගලකරුවන් දෙදෙනෙක් ඩිමෝ බට්ටා ලොරියකින් එහි පැමිණ ඇති බවට ත් අධිකරණය හමුවේ සඳහන් කර ඇති පොලිසිය ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බව ද දන්වා තිබෙනවා.