hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූලි 31, පෙ.ව. 7:34



රට තුළ පවතින ප්‍රශ්න විසඳීමට ඇති සුදුසුම ක්‍රමය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

ඊයේ (30) මහනුවර ජනාධිපති මන්දිරයේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

නව බලවේගයකට සූදානම්ව රට ගොඩ නැගීමේ අභියෝගයට සියලු දෙනා ම කැපවී වැඩ කිරීමේ කාලය දැන් එළඹී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියා.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව “ෆැසිස්ට් ත්‍රස්තවාදයට” මුහුණදුන් බව යි.

ගෙවල් සහ පොතපත ගිනි තැබීම හිට්ලර්ගෙන් උගත් දෙයක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“අපි දැන් වාද කරනවා ද? නැත්නම් වැඩ කරනවා ද? එක තෙල් නැවක් එනවා නම් වාද කරන්න. මේක වාදයකින්වත් රට දියුණු වෙන්නේ නෑ. මේවා වුණ දේවල්. අපේ මුලික කාලය යොදවන්නේ වාද කරන්න ද? විසඳුම් හොයන්න ද? සමහරු කියනවා පෙළපාලි දානවා කියලා රනිල් ගෙදර යන්න කියලා. මට ගෙයක් නෑ. මගේ ගෙදර හදලා දෙන්න. මම ගියාට පස්සේ ගේ පහුකරලා යන්න රනිල් ගෙදර යන්න කියලා. ඔයාලා කැමති නම් විශාල සෙනඟක් ගේන්න මාස 6කට පස්සේ. නැත්නම් වැඩක් නෑනේ ගෙදර නැති මිනිහට ගෙදර යන්න කියලා. දෙකෙන් එකක්. ගම හදන්න නැත්නම් මගේ ගෙදර හදන්න. ඒත් ගෙදර යන්න කියලා කියන්න එපා. අපි ඉන්නේ පරණ දේශපාලනයේ. සාම්ප්‍රදායිකයි. අරයට මෙයාට ඇඟිල්ල දික් කරනවා. මේකෙන් උද්දමනය අඩුවෙනවා ද? දළ දේශීය නිෂ්පාදනය වැඩි වෙනවා ද? අපිට දැන් මුදල් හොයන්න තියෙනවා. පෙට්‍රල් ලබාගන්න, පොහොර ලබාගන්න මේවා නේද දේශපාලනය කියන්නේ. ඒවානේ අපි කරන්න ඕනේ.

“අපි අලුතින් හිතන්න ඕනේ. ඒ වගකීම භාරගන්න ඕනේ. ඒක අපි බෙදිලා කරනවා ද? එකතුවෙලා කරනවා ද? වෙන අයට ඇවිත් බෙදන්න ඉඩදෙනවා ද? මොකද අපේ පළමු යුතුකම නීතිය හා සාමය ආරක්ෂා කරන එක කොයි පක්ෂයේ වුණත්. මම කිසි දවසක ගෙවල් පුච්චන වැඩසටහනකට ඉඩදෙන්නේ නෑ. අපි අලුතින් හිතන්න ඕනේ. අද ගම හිස්. පොදුජන පෙරමුණ වුණත්, එක්සත් ජාතික පක්ෂය වුණත් අද නිශ්ශබ්ද වෙලා ඉන්නේ. ඇයි නිශ්ශබ්ද වෙන්නේ ආණ්ඩු බලය අපේ අතේ නේ. ඇයි කතා කරන්නේ නැත්තේ. අපි එකතුවෙලා මේ පණිවුඩය දෙමු. මම ඒකයි හැම පක්ෂයකටම ආරාධනා කළේ අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරමු කියලා. මේ රටේ ප්‍රශ්න විසඳන්න හොඳම ක්‍රමය සර්ව පාක්ෂික ආණ්ඩුවක්. ඒක සියලුදෙනාම පිළිගන්න එකක්. ඒක ගැන කවුරුත් වාද කරන්නේ නෑ. කොළඹ සමහර දේශපාලන නායකයින් වාද කරයි. ගමේ පන්සලට යන්න මොකද්ද කියන්නේ, ගමේ පාසලට යන්න මොකද්ද කියන්නේ. ඇයි අපි ඒ පණිවුඩය දෙන්නේ නැත්තේ. ඇයි අපි කියන්නේ නැත්තේ අපි එකතුවෙන්න ඕනේ කියලා. ඒ පණිවුඩය ගෙනියන්න. 

ඔබ සියලුදෙනාම මැයි 9 වනදා ඉඳලා වින්ද දුක මම දන්නවා. සමහරුන්ට නිවසින් යන්න වුණා. ගමන් යන්න වුණා. කතා කරලා කිව්වා මරලා දානවා කියලා. ඒ කාලේ ඉවරයි දැන්. අපි බලමු එකට වැඩකරන්න. අපි බලමු එකට රට වෙනුවෙන් වැඩ කරන්න. මෙතැන එක්සත් ජාතික පක්ෂය හා පොදුජන පෙරමුණේ කණ්ඩායම් දෙකම ඉන්නවා. මම කැමතියි ශාලාවේ ඉතුරු ටිකත් සමගි ජන බලවේගයෙන්, ජනතා විමුක්ති පෙරමුණේ අය කොංග්‍රස් එකේ අය. ඒ අයත් එක්ක එමු. මේක පොදුජන පෙරමුණට එක්සත් ජාතික පක්ෂයට සීමා කරන්න එපා. ගමේ අපි ඉන්නේ හදන්න. ඡන්දේ වෙලාවේදී එන්න ඕනේ නම් ඒක වෙනම දෙයක්. 

අද ගමේ ඉන්නවා රැකියා නැති අය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් ඒ ගැන වගකීමක් තියෙනවා. ඊළඟ සතිදෙක තුළ අපි අලුත් ක්‍රමවේදයක් දැනුම්දෙනවා කියලා කියන්න කැමතියි. ඔක්කෝමල්ලා එකතු වෙන්න. මේ පණිවුඩය දෙන්න. රටට කියන්න. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඕනේ කියලා විශාල බලවේගයක් තියෙනවා. අපි නිහඬ වෙලා හිටියා ඇති. දැන් කතා කරන්න පටන් ගන්න. කතා කරාම බලය ආපහු එනවා. එතැන ඉඳලා ඉදිරියට යමු ජනතාවට ප්‍රශ්න කියමු. මේකයි තියෙන ප්‍රශ්න කියලා. ගමේ තියෙන ප්‍රශ්න අපිට කියන්න. එකට එකතුවෙලා ක්‍රියා කරන්න. මහනුවර මන්ත්‍රීවරුන්ට මම ඒ ඉල්ලීම කරනවා ඔක්කෝමල්ලා එකතු වෙන්න. මේක පක්ෂ දෙකකට සීමා කරන්න එපා. ඕන කෙනෙක්ට එන්න දෙන්න. එහෙම කරාම මීට වඩා බලවත් හඬක් මෙතැනට එනවා. රටේ සාමාන්‍ය ජනතාවගේ හඬ එනවා. ඒක අපි යළිත් ඇති කරමු. කණ්ඩායමක් හැටියට මේ පොදු පණිවුඩය දෙමු.”