hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 30, ප.ව. 1:02



ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා අද (30) දින මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා.

මෙර‍ට බිහිවන සෑම රාජ්‍ය නායකයෙක්ම සිය ධූරයට පත්වූ විට දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණීම සම්ප්‍රදායක්.

එලෙස පැමිණෙන පළමු අවස්ථාවේ, එය විශේෂ සාම්ප්‍රදායික පිළිගැනීමේ උළෙලක් වශයෙන් පැවැත්වීම චිරාත් කාලයක පටන් සිදු වන්නක්.

ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් ප්‍රමුඛ සිව් මහා දේවාල වල බස්නායක නිලමේ වරුන් විසින් නව ජනාධිපතිවරයාව ශ්‍රී දළදා මාලිගාවට පිළිගනු ලැබුවා.

එහිදී ජනාධිපතිවරයා දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත ගොස් දළදා වහන්සේට පුෂ්පෝහාර දක්වා ආගමික වතාවත්වල නිරතව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දළදා මාළිගාවේ විශේෂ අමුත්තනන් වෙනුවෙන් වෙන් කර ඇති කුටිය වෙත ගොස් සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තබා තිබෙනවා.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමිවරු බැහැ දැකීමට නියමිතයි.