hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 06, පෙ.ව. 6:46



අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ගාලු මුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

දැන් තිබෙන අභියෝගය ආර්ථික අරගලය ජය ගැනීම බව කී වික්‍රමසිංහ මහතා අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් එම ආර්ථික අරගලයේ ජයග්‍රහණය සඳහා සෑම අයුරකින්ම දායකකර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද කියා සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බවත් මර්දනය වෙනුවෙන්ම කටයුතු කරන පිරිස් විශ්වවිද්‍යාල ක්‍රියාවලිය තුළින්ම නවකවදය නවතා යහපත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

වර්තමානයේ මෙරට විශ්ව විද්‍යාල පද්ධතියම කඩා වැටීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ නවක වදය බවයි ඔහු කියාසිටියේ.

වර්ජන සෑම කාලයකම පැවතුන ද වර්ජන මතින්ම රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත්, සාකච්ඡා තුළින් මැදිහත් තැනකට පැමිණ ඉල්ලීම් දිනා ගන්නවා සේම රට වෙනුවෙන් කළයුතු කාර්යයන් ඉටුකළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

සියලු අරගලකරුවන් නියෝජනය කරමින් යම් ප්‍රධාන කණ්ඩායමක් සකසා ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා එම කණ්ඩායමට සියලු ආගම් නියෝජනය සහ කාන්තා නියෝජනය ද අත්‍යාවශ්‍ය බවයි සඳහන් කළේ.

තමන් විසින් තරුණයින්ගේ අවශ්‍යතා රාජ්‍යයේ ද අනුග්‍රහය සහිතව පවත්වාගෙන යාම සඳහා කොළඹ කොටුව පාවෙන වෙළෙඳ සැළ සහ තවත් ස්ථාන කිහිපයක් යෝජනා කිරීමට කැමති බවත්, ඒ වෙනුවෙන් වන විධිමත් යෝජනාවලියක් බහුතර අරගලකරුවන්ගේ මැදිහත්වීමෙන් සකස් කර ඉදිරිපත් කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියා.

එම ක්‍රියාවලිය තුළ අධ්‍යාපනය සඳහා වූ පුස්තකාල, දේශපාලන අධ්‍යයනය සඳහා වන පහසුකම්, සංගීතය, චිත්‍ර කලාව, වේදිකා නාට්‍ය හා අනෙකුත් තරුණ කුසලතා සහ අවශ්‍යතා ඉටුකරගත හැකි එක් මධ්‍යස්ථානයක් බවට එය පත්කර ගතයුතු බවයි ඔහු සඳහන් කළේ.

හදිසි නීතිය හැකි ඉක්මණින් ඉවත් කිරීම රටේ ආර්ථික සහ සමාජ ස්ථායීතාවයට වැදගත් වනවා සේම පවතින තත්ත්වයන් හේතුවෙන් රටේ පාලනයට ද එහි බලපෑමක් පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: