hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 14, පෙ.ව. 5:58



දැඩි ආර්ථික අර්බුධයක් සහ රටේ පවතින අර්බුධකාරී තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍යවරයා ඊයේ (13) උදෑසන වැඩ භාර ගත්තා.

ලංකාවේ ඊළඟට එන ප්‍රභලම අභියෝගය වන්නේ විදේශ සංචිත ප්‍රමාණය වැඩි කර ගැනීම, ඉන්ධන, ගෑස්, ආහාර අර්බුධයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර සහය ලබා ගැනීමයි.

මේ වන විට ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට නම් දේශපාලන ස්ථාවරත්වයක් ඇති විය යුතු බවට ද මහ බැංකු අධිපතිවරයා රතු එළියක් දල්වා තිබෙනවා.

ඒ අනුව පසුගියදා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, රට තුළ පවතින දේශපාලන අර්බුදයට ඉදිරි සති දෙක තුළ විසඳුමක් නොලැබේ නම් තමන් මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වන බවයි.

සියලු දේශපාලන පක්ෂ එකතු වී රට ස්ථාවර කිරීමට කටයුතු නොකරන්නේ නම්, තමන්ට පමණක් නොව කිසිවෙකුට රට ගොඩගැනීමට නොහැකි බව ඔහු සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පත් වීමත් සමඟ ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවේ අර්බුධය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙන බව මේ වන විට වාර්තා වෙනවා.

ඒ අනුව ලෝකයේ ප්‍රභල රටවල් රැසක්ම ලංකාවේ වත්මන් අර්බුධයෙන් ගොඩ ඒම සඳහා සහය දීමට කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ වෙත මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් සුබ පැතුම් එක්කර තිබෙනවා.

සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කළේ, නව අග්‍රාමාත්‍යවරයා සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම සහ කඩිනමින් නව රජයක් පිහිටුවීම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාගැනීමටත්, ආර්ථික ස්ථාවරත්වයටත් ඇති පළමු පියවර බවයි ඇය පෙන්වා දෙන්නේ.

එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අර්ථවත් ප්‍රගතියක් ලබා ගැනීමට සහ සියලු ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා සපුරාලීමට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීමට රජය දිරිමත් කරන බවද ඇමරිකානු තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, මෙරට දේශපාලන ස්ථාවරත්වය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව පිහිටුවන ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම තවදුරටත් අඛණ්ඩව පවතිනු ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ ආර්ථික ස්ථාවරත්වය ගොඩ නැගීම සඳහා ඉදිරි සති කිහිපය අතිශය තීරණාත්මක බව එක්සත් රාජධානිය පවසයි.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නිවේදනය කළේ, ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය දිරිමත් කරන බවයි.

ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ ආර්ථික ස්ථාවරත්වය ගොඩ නැගීමේ අරමුණ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නව රජය ක්‍රියා කළ යුතු බව ත්, ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්විය යුතු බව ත් එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් වෙනවා.

එමෙන්ම බි්‍රතාන්‍ය සහ යුරෝපා සංගමය නියෝජනය කරන ප්‍රවීන දේශපාලනඥයෙකු වන ශ්‍රී ලාංකික නිරන්ජන් දේවාආදිත්‍ය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව දැන් මුහුණදී සිටින අවුල් සහගත වාතාවරණයෙන් මිදීමට අවශ්‍ය සම්බන්ධතා සහ පළපුරුද්ද සහිත එකම ශ්‍රී ලාංකික දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

ඔහුට ඒ සම්බන්ධයෙන් විශේෂ සේවයක් කළ හැකි බවත්, අවසන් වරට අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ දෑත් බැඳ තැබූ බවත් නිරන්ජන් දේවාආදිත්‍ය මහතා කියා සිටියා.

එහෙත් දැන් ඔහුගේද පූර්ණ සහාය හිමිවන බවයි නිරන්ජන් දේවාආදිත්‍ය මහතා පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තරය එසේ සහයෝගය පළ කරද්දී ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළ කරන පිරිසක් ද සිටිනවා.

ඒ අනුව ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වූව සිට පසුව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු නායකයින් සිය පක්ෂවල මතය මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ස්වාධීන පාර්ලිමේන්තු සංසදය ඊයේ දින මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සහය නොදක්වන බවයි.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද වෙනම මාධ්‍ය හමුවක් කැඳවමින් නව අග්‍රාමාත්‍යවරයාට සහාය දක්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කිසිදු අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට සහ ආණ්ඩුවක කොටස්කරුවෙකු නොවීමට සිය පක්ෂය තීරණය කළ බවයි.

ඒ අනුව පොදුවේ ස්වාධීන කාණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදක්වන බව මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.

මිට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදක්වන බව මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයාට සහය දැක්වීමට සූදානම් වී සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බවයි මේ වන විට ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව ජාත්‍යන්තරයේ සහයෝගය කෙසේ ලැබුණත් පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම ප්‍රශ්නයක් වේ දැයි සැකයක් පවතිනවා.