hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 10, ප.ව. 3:23



මෙම වසරේ ගතවූ මාස 4 ඇතුළත මෙරටට පැමිණි විදේශ සංචාරකයන්ගේ 113 දෙනෙකු තමන්ට මෙරට දී අත් විදින්නට සිදු වූ ලිංගික අඩත්තේට්ටම්, මංකොල්ලකෑම්, සොරකම්, පහරදීම් හා වංචාවන් සම්බන්ධව පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

මෙයින් බහුතරයක් දකුණු පළාතේ දී මෙම අත්දැකීම් වලට මුහුණ පා තිබෙනවා.

මේ අතරින් පැමිණිලි 65 ක් ම සොරකම් හා කොල්ලකෑම් සම්බන්ධවයි.

ඉන් 20 දෙනෙකුම යුරෝපා ජාතිකයින්.

තවත් 21 දෙනෙකු රුසියානුවන්.

ඇමරිකන් ජාතිකයින් 6 දෙනකු ද මෙම පිරිසට අයත්.

මොවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල මහමගදී හා හෝටල් කාමර වලදී කොල්ලකෑමට ලක්ව තිබෙනවා.

මෙම මාස හතරට මෙරට තුළ දී තුළදී ශ්‍රී ලාංකිකයින්ගේ අතින් දූෂණයට හා ලිංගික අඩත්තේට්ටම් වලට ලක් වූ විදේශීය කාන්තාවන් හා තරුණියන් ගණන දහතුන් දෙනෙක්.

ඉන් නව දෙනකුම යුරෝපා ජාතික කාන්තාවන්.

රුසියාව තරුණියන් දෙදෙනෙකු ජපාන තරුණියක ද තමන්ට වූ අතවරයන් ගැන පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

තවත් විදේශිකයන් දහතුන් දෙනෙකු පහරදීම්, තුවාල සිදුකිරීම් හා බැණ තර්ජනය කිරීම සම්බන්ධව පැමිණිලි කර තිබෙනවා.

සංචාර අතරේ තමන්ව රවටා සිදු කළ වංචාවන් හා විවිධ ජාවාරම් සම්බන්ධව පැමිණිලි විස්සකට අධික ප්‍රමාණයක් ද ලැබී තිබෙනවා.

මෙරට සංචාරක ආදායම් ඉහළ දමමින් ජනවාරි මාසයේ පමණක් විදේශිකයන් 102,545ක්ද පෙබරවාරියේ 107,639ක්ද මාර්තු මාසේ සංචාරකයින් 125,495ක්ද මෙරටට පැමිණ තිබෙනවා.

සංචාරක මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු වගකිවයුතු නිලධාරීන් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව ගැන තහවුරු කිරීම සඳහා දැඩි විනයක් ඇති අණපනත් සැකසීම ඇතුළු යෝජනා රැසක් ආරක්ෂක අංශ ප්‍රධානීන් හා බුද්ධි ප්‍රධානීන් යෝජනා කර ඇතත් එය ක්‍රියාවට නංවා නොමැති බව හෙළිවී තිබෙනවා.

දැඩි විනයක් සහිත අනපනත් ගෙනැවිත් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කර සංචාරක පොලිසිය සක්‍රීය තත්ත්වයට නොහෙනාආවහොත් නුදුරේදීම මෙරට සංචාරක ව්‍යාපාරයටත් කණ කොකා හඬලා ඇතැයි ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.