hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 07, පෙ.ව. 5:57



ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් පත්කළ එක රටක් එක නීතීයක් ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව කුණු කූඩයට විසි කිරීමට ජනාපතිවරයා සූදානම් දැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් මහතා ප්‍රශ්න කරනවා.

මන්ත්‍රිවරයා පෙන්වා දෙනු ලැබුවේ ජනාධිපතිවරයාගේ ජාතික වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැංවීමට ඔහු පළමුව කටයුතු කළ යුතුව ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවුෆ් හකීම් මහතා,

පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා වඩාත් හොඳ රාජාසන කතාවක් කළ බව අපි පිළිගන්නවා. ඔහුගේ කතාවේ ඇතුළත් සාධණීය කරුණු ඉටුකර ගැනීමේ අවංක චේතනාවක් ඔහුට තිබේ නම්, අවම වශයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනා කිහිපයකින් හෝ නිදහස්වීමට නම් එම චෝදනා නිවැරදි කිරීමට පියවර ගත යුතුව තිබෙනවා. විශේෂයෙන් අද ජනාධිපතිවරයා ඉන්නේ ඔහුට එම චෝදනා එල්ල කරනු ලැබූ අය සමඟයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා ගැනීමට අවංක චේතනාවෙන් කටයුතු කළ ශානි අබේසේකර වැනි නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ වන විට ඔවුන්ව අධිකරණ මඟින්ම නිදහස් කර තිබෙනවා. එවැනි නිලධාරීන්ව යළිත් මෙම විමර්ශනවලට යොදවා සත්‍ය සොයා ගැනීමට කටයුතු කරන්නැයි අප ඉල්ලා සිටිනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මෙම ප්‍රහාරය පිටුපස සිටි මොළකරුවන් කවුරුන්ද යන්න සොයා ගත යුතුයි. ඔවුන්ගේ අරමුණ කුමක්ද යන්න සොයා ගත යුතුයි. මේ දේවල් ඉටු කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ඇද්දැයි යන්න මම මේ අවස්ථාවේ ප්‍රශ්න කරන්න කැමතියි.

එසේත් නැත්නම් අවම වශයෙන් එක රටක් එක නීතියක් කියමින්, මේ රටේ ජාතීන් අතර, ආගම් අතර විරසකයන් ඇති කළ හිමිනමක් සභාපතිවරයා වශයෙන් පත් කරමින් පිහිටු වූ එක රටක් එක නීතියක්  යන ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව කුණු කූඩයට විසි කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටිනවාද? ජනාපතිවරයාට එයට පිළිතුරු දීමට හැකි වුණොත් මේ රටේ ජනතාවට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩනැඟෙනවා.