hit counter

2026 සැප්‍තැම්‍බර් මස 12 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:35



ශ්‍මෙරට කාන්තාවන් විසින් පවුල් සැලසුම් කටයුතු සඳහා බහුලව භාවිත කරනු ලබන වඩාත් ප්‍රචලිත උපත් පාලන පෙති වර්ගයක් වන ‘මිතුරි’ පෙතිවල දැඩි හිඟයක් රට පුරා මතුව ඇති බවට ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පවසන බව වාර්තා වේ.

ඒ අනුව එම සංගමය සඳහන් කර ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන ප්‍රතිපත්තිය හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගතව ඇති බවයි.

එසේම අදාළ ඖෂධයේ නව තොග මෙරටට ගෙන්වා බෙදාහැරීමට තවත් සති තුනක පමණ කාලයක් ගතවනු ඇති බවත් සඳහන්.

දශක ගණනාවක සිට ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මඟින් බෙදාහරිනු ලබන මෙම උපත් පාලන පෙති මේ වන විට රජයේ රෝහල් මෙන්ම පෞද්ගලික ඖෂධසැල් යන දෙඅංශයෙන්ම ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.

එබැවින් කාන්තාවන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන බවත්, වෙළඳපොළේ පවතින සෙසු ආදේශක ඖෂධවල ද හිඟයක් පවතින අතර ඒවා රුපියල් 2,500 සිට 6,000 දක්වා වූ අධික මිල ගණන් යටතේ අලෙවි වන බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන බව සඳහන්.

කාන්තා හෝමෝන වර්ග දෙකක් (එතිනයිල් එස්ට්‍රඩියෝල් 0.03mg සහ ලෙවොනෝජෙස්ට්‍රල් 0.15mg) අවම මාත්‍රාවකින් අඩංගු සංයුක්ත මුඛ පවුල් සැලසුම් පෙත්තක් (OCP) වන ‘මිතුරි’, නිවැරදිව හා අඛණ්ඩව භාවිත කළහොත් ගැබ් ගැනීම් වැළැක්වීමේ සියයට 99.9ක ඉහළ සාර්ථකත්වයක් මෙන්ම අවම අතුරු ආබාධ සහිත ඖෂධයක් වශයෙන් සලකයි.

එසේම උපත් පාලනයට අමතරව හෝමෝන අසමතුලිතතාවන්ගෙන් පෙළෙන කාන්තාවන් සහ ආර්තවහරණය ආශ්‍රිත රෝග ලක්ෂණ සහිත කාන්තාවන් වෙනුවෙන් ද විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙම ඖෂධය නිර්දේශ කරයි.

ඒ අනුව පවුල් සැලසුම් කටයුතුවලට මෙන්ම කාන්තා සෞඛ්‍යයට සෘජුව බලපාන මෙම ගැටලුව කඩිනමින් නිරාකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය කඩිනමින් මැදිහත් විය යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: