hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 13, ප.ව. 10:05



ස්වාධීන පක්ෂ එකමුතුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ අගමැතිවරයා වහාම සිය ධූරයෙන් ඉල්ලා අස් වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කතානායකතුමාට රට භාර දෙන ලෙසයි.

2022 ජූලි 9 දින කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පක්ෂ නායකයින් ඒකමතිකව ඉල්ලා සිටි පරිදි අගමැතිතුමා ඉවත් වීමට කටයුතු නොකිරීමෙන් රට තුල ව්‍යාකූල තත්වයක් පැන නැගී ඇති බවත් එකී තත්වය ප්‍රචණ්ඩත්වයක් කරා වර්ධනය වෙමින් පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ප්‍රජාතන්ත්‍රවාදය ද පාර්ලිමේන්තුව ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදි ආයතන ද රැක ගැනීම ආණ්ඩුවේ ද ආරක්ෂක හමුදාවන්ගේ ද සියළුම දේශපාලන පක්ෂවල ද බහුජන සංවිධාන හා අරගලකරුවන්ගේ ද පරම යුතුකම බව තරයේ අවධාරණය කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එම නිවේදනය පහතින්,

මාධ්‍ය නිවේදනයයි

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම ලාංකිය ජනතාවගේ පරම යුතුකමයි.

2022 ජූලි 9 දින කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පක්ෂ නායකයින් ඒකමතිකව ඉල්ලා සිටි පරිදි අගමැතිතුමා ඉවත් වීමට කටයුතු නොකිරීමෙන් රට තුල ව්‍යාකූල තත්වයක් පැන නැගී ඇති බවත් එකී තත්වය ප්‍රචණ්ඩත්වයක් කරා වර්ධනය වෙමින් පවතින බවත් අපි නිරීක්ෂණය කරමු. එහි ප්‍රතිඵලයක් ලෙස අරගලකරුවන් විසින් අගමැති කාර්යාලය අත්පත් කරගෙන ඇත. එබැවින් අගමැතිවරයා වහාම සිය ධූරයෙන් ඉල්ලා අස් වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කතානායකතුමාට රට භාර දෙන මෙන් අපි ඉල්ලා සිටිමු.

ඇතැම් පිරිස් අද සවස් බාගයේ සිට පාර්ලිමේන්තුව වට කිරිමට ද උත්සාහ කරන බව දැන ගන්නට ඇතග ඒ කුමන අරමුණක් ඉටු කර ගැනිමටදැයි අප්‍රකාසිතය. පාර්ලිමේන්තුව යනු ජනතා පරමාධිපත්‍යයේ ද ප්‍රජාතන්ත්‍රවාදයේ ද මුදුන් මල්කඩයි.  පාර්ලිමේන්තුවේ පැවැත්මට එල්ල කරන තර්ජනය ජනතා පරමාධිපත්‍යට ද ප්‍රජාතන්ත්‍රවාදයට ද එල්ල කරන මරු පහරක් ලෙස අපි දකිමු.  පාර්ලිමේන්තුවේ කටයුතු වලට බාධා කිරීම යනු ජූලි 20 දින පැවැත්වීමට නියමිත නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට ද ඒ හරහා රට යළි සාමකාමි කිරීමට ද එල්ල කරන බාධාවකි.  එමෙන්ම පවතින ආර්ථික අර්බූදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර සහය ලබා ගැනීමේ දී ද ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම තීරණාත්මක සාධකයකි. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය ද පාර්ලිමේන්තුව ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදි ආයතන ද රැක ගැනීම ආණ්ඩුවේ ද ආරක්ෂක හමුදාවන්ගේ ද සියළුම දේශපාලන පක්ෂවල ද බහුජන සංවිධාන හා අරගලකරුවන්ගේ ද පරම යුතුකම බව අපි තරයේ අවධාරණය කරමු.

අරාජිකත්වය සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව මානව ආපදාවක් කරා සීඝ්‍රයෙන් ගමන් කරමින් පවතියි.  ආර්ථික අර්බූදය මානව ආපදාවක් බවට පත් කිරීමෙන් විදේශ හමුදාවන්ට මෙරටට පැමිණීමට දොරටු විවෘත විය හැක.  එබැවින් ලංකාව දකුණු ආසියාවේ ලිබියාව බවට පත් නොකිරීමට අත්වැල් බැඳ ගන්නා මෙන් අපි සමස්ත ජාතියට ආයාචනා කරමු.

මීට දේශප්‍රේමිත්වයෙන්

පූජ්‍ය අතුරලියේ රතන හිමි                    විජය ධරණී මහ සභාව
විමල් වීරවංශ                                     ජාතික නිදහස් පෙරමුණ
වාසුදේව නානායක්කාර                       ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ
උදය ගම්මන්පිල                                 පිවිතුරු හෙළ උරුමය
මහචාර්ය තිස්ස විතාරණ                      ලංකා සමසමාජ පක්ෂය
වෛද්‍ය ඩී වීරසිංහ                              ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
ඒ එල් එම් අතවුල්ලා                          මහජන කොංග්‍රසය
අසංක නවරත්න                                ශ්‍රී ලංකා මහජන පක්ෂය
ගෙවිඳු කුමාරණතුංග                           යුතුකම ජාතික සංවිධානය
ප්‍රේමනාත් දොලවත්ත                          සත්‍ය ගවේශකයෝ