hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 18, පෙ.ව. 6:38



රුපියල් මිලියන ගණනක් වැය කරමින් ඉදිකරන ලද මන්නාරම මඩු ප්‍රදේශයේ සංගිලි පාලම සංචාරක නිකේතනය මේ වන විට කැලෑ වැදී විනාශ වෙමින් පැවතියද කිසිදු බලධාරියෙකු අවධානය යොමු නොකරන බවට ප්‍රදේශවාසීන් පවසනවා.

2014 වසරේදී උතුරු පලාත් සභාවේ පලාත් විශේෂිත සංවර්ධන ව්‍යාපෘති අරමුදල යටතේ ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම සංගිලි පාලම සංචාරක නිකේතනය 2016 වසරේ මාර්තු 16 වන දින උතුරු පලාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරි තිබෙනවා.

මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යටතේ නානාට්ටාන් ප්‍රාදේශීය සභාව යටතේ නඩත්තු කෙරුනු මෙම සංචාරක නිකේතනයේ මේ වන විට වන සතුන් පමණක් සැරිසරන බවටත් කිසිදු බලධාරියෙක් එය නඩත්තු නොකරන බවටද ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

එමෙන්ම ඉතා වටිනා ස්ථානයක් වූ එල්ලෙන පාලම නොහොත් සංගිලියන් පාලම නැරඹීමට බොහෝ දෙනෙකු මෙම ස්ථානයට පැමිණෙන බැවින් සංචාරක නිකේතනය වල්වැදීම හේතුවෙන් එහි පැමිණෙන සංචාරකයින්ද මේ දිනවල දක්නට නොලැබෙන බවටද පෙන්වා දෙනවා.

සංචාරක නිකේතනය ඇතුළු අවට ප්‍රදේශය සංචාරක ස්ථානයක් ලෙස සංවර්ධනය කොට විනාශ වෙමින් පවතින නිවාඩු නිකේතනය ද ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසට ප්‍රදේශවාසීන් විසින් බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.