hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 03, ප.ව. 4:57



වෙළඳපොළේ සහල් මිල පාලනය කිරීම සඳහා රජය ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට සහල් සඳහා පාලන මිල පැනවූවද පාලන මිලට වඩා අඩුවෙන් වෙළඳපොලේ සහල් අලෙවි කිරීමට ඇති නිසා පාරිභෝගික ජනතාව මෙන්ම වෙළඳසැල් හිමියන් ද මෙම පාලන මිල සම්බන්ධයෙන් දැඩි විමතිය පළ කරමින් සිටින බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඊයේ (02) සිට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින්.

ඒ අනුව සුදු සහ රතු නාඩු දේශීය සහල් කිලෝ එකක් සඳහා රුපියල් 220ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

සුදු සහ රතු සම්බා දේශීය සහල් කිලෝ එකක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ රුපියල් 230ක් ලෙසයි.

මේ අතර දේශීය කීරි සම්බා කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 260ක් ලෙස නියම කර තිබෙනවා.

කෙසේ වෙතත් රජය නිකුත් කරන ලද ගැසට් පත්‍රයට වඩා අඩු මිල ගණන් යටතේ සාමාන්‍ය සිල්ලර හා තොග වෙළෙඳඳ සැල් වල සහල් අලෙවි කිරීමට තිබීම විශේෂත්වයක්.

සහල් අලෙවි කරන වෙළෙඳ සැල් හිමියන් කියා සිටියේ  රජය වෙළඳපොලේ  මිල සොයා බැලීමකින් තොරව මෙසේ ගැසට් කිරීම සිදුකර ඇති බවයි.

වෙළඳපොලේ නාඩු සහල් කිලෝවක්  රුපියල් 190 සිට රුපියල් 210 දක්වා මිල ගණන් යටතේ අලෙවි වන අතර සම්බා  කිලෝවක්  රුපියල්  215 සිට 220 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වන බව වෙළෙන්දෝ පෙන්වා දෙනවා.

මේ අතර රජය මගින් සහල් පාලන මිලක් නියම කර ගැසට් නිවේදනයක් නිකුත් කිරිමෙන් පසු හැටන් සතොස ශාඛාව විසින් අනයනික නාඩු සහල් කිලෝවක් රු 145 ක සිල්ලර මිලකට නිකුත් කරනු ලබන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

එක් පාරිභෝගිකයෙකුට සහල් කිලෝ 5 බැගින් සතොස ශාඛාව විසින් නිකුත් කරන අතර වෙනත් සහල් වර්ග කිසිවක් සතොස ශාඛාවට නොලැබුණු බවයි සතොස ශාඛාවේ සේවකයින් කියා සිටියේ.

මේ අතර රජය මගින් ප්‍රකාශයට පත් කර ඇති පාලන මිලට තමන් සහල් තොග නිකුත් කිරිමට නොහැකි බවත්, තමන් සහල් තොග වැඩි මිලට ගෙනවිත් ඇති නිසා සැම සහල් කිලෝවක්ම රු.200 ඉහල මිලකට අලෙවි කිරිමට සිදු වි ඇති බවයි හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව කියා සිටියේ.

සහල් තොග මිල සිල්ලර මිලට සාපෙක්ෂව අඩු කර ලබා දෙන්නේ නම් පාරිභෝගිකයන්ට රජයේ අනුමත සහල් මිලට සහල් නිකුත් කල හැකි බවයි හැටන් ප්‍රදේශයේ සහල් ව්‍යාපාරිකයන් කියා සිටියේ.