hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 26, පෙ.ව. 1:12



ශ්‍රී ලංකාවෙන් රිළවුන් ඉල්ලා සිටින්නේ චීනයේ ඇති තම සමාගමට අයත් පෞද්ගලික සත්ත්ව උද්‍යානවල ප්‍රදර්ශනය සඳහා පමණක් බව චීනයේ ෂීජියෑන් වූයූ ඇනිමල් බි්‍රඩින් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට ලිපියක් මගින් දැනුම්දී තිබෙනවා.

තම සමාගම චීනයේ කීර්තිමත් සත්ත්වෝද්‍යාන පවත්වාගෙන යන සමාගමක් බවත් ශ්‍රී ලංකවේ විශාල ලෙස සිටින රිළවුන්ගෙන් යම් ප්‍රමාණයක් ලබා දෙන්නේ නම් තම සත්ත්වෝද්‍යානවල ප්‍රදර්ශනයට තැබිය හැකි බවත් එම ලිපියෙහි සඳහන් කර තිබෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලබා දෙන්නේ නම් රිළවුන් අල්ලාගෙන රැගෙන යෑමට අවශ්‍ය කටයුතු සකස් කළ හැකි බවත් සඳහන් කර තිබෙනවා.

එසේම තම සමාගම විවිධ රටවලින් වනජීවීන් ලබාගෙන සිය සත්ත්වෝද්‍යානවල ප්‍රදර්ශනය සඳහා යොදාගෙන ඇතැයි ද එම ලිපියෙහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මේ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේ අදාළ සමාගම එක්වරකදී රිළවුන් දහසක් චීනයට රැගෙන යෑමට කැමැත්ත පළකර ඇති බවයි.

ඒ අනුව වසරක කාලයක් තුළදී මෙරටින් රිළවුන් ලක්‍ෂයක් සිය සත්ත්වෝද්‍යානවලට රැගෙන යෑමට යෝජනා කර ඇති බව ද කියා සිටියා.

එහිදී රිළවුන් අල්ලා ගැනීම, මෙරටින් රැගෙන යෑමට පෙර නිරෝධායනය සඳහා යොමු කිරීම ආදී සියලු කටයුතු අදාළ චීන සමාගම විසින් සිදුකිරීමට කැමැත්ත පළකර ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළා.

ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ අවසරය ලබාදුනහොත් රිළවුන් චීනයට ගෙනයෑම සඳහා චීන රජයේ වනසත්ත්ව ආයතනයේ අනුමැතිය ලබාගැනීමට අයැදුම් කරන බව ද චීන සමාගම, කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.