hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 අප්‍රේල් 24, පෙ.ව. 10:55



මේ දිනවල අවුරුදු උත්සව සංවිධානය කරන්නේ නම් පවතින අධික උණුසුම් තත්ත්වය හමුවේ කය වෙහෙසා කරන ක්‍රීඩා කටයුතු දහවල් කාලයේදී පැවැත්වීමෙන් වළකින්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සව සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මැරතන් ධාවන තරග, බයිසිකල් ධාවන තරග වැනි කය වෙහෙසා සිදු කරන ක්‍රීඩා හැකිතරම් උදෑසන කාලයේදී හෝ සවස් කාලයේදී පැවැත්වීමට කටයුතු කරන ලෙස තමන් උත්සව සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවා.

අවුරුදු උත්සවවල ඇති විවිධ අංග අතරින් දිවීමේ තරග, මැරතන්, බයිසිකල් රේස් ආදිය දහවල් කාලය මගහැර පැවැත්වීම මේ දිනවල වඩා වැදගත් බව ද ඔහු කියා සිටියා.

ඒ අයුරින් කය වෙහෙසෙන ක්‍රීඩාවලට සහභාගි වන පිරිස්වලින් ඒ තරග සඳහා සහභාගි වීමට තරම් තමන් සෞඛ්‍ය සම්පන්න ද යන්න වෛද්‍ය වාර්තාවක් ලබා ගත යුතු බව ද හෙතෙම පැවසුවා.

තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව එවන් තරග සඳහා සහභාගි වීම අත්‍යවශ්‍ය බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළා.

එවන් සෞඛ්‍ය වාර්තාවක් ලබා ගත්ත ද ඒ මත ම සියල්ල සිදු වේ යැයි නිගමනය කළ නොහැකි නිසා යමක් සිදුවීමට පෙර කල්පනාකාරීව කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා.

එවන් තරග සඳහා සහභාගි වන පිරිස් පවා හොඳින් ජලය පානය කළ යුතු බවද හැකි නම් ජීවනී වැනි දියරමය පාන ලබා ගනිමින් ශරීරය විජලනයට පත් වීම වළක්වා ගත යුතු බව ද හෙතෙම කියා සිටියා.

මෙවන් තරග සංවිධාන කරන්නේ නම් යම් හදිසි අවස්ථාවකදී ප්‍රථමාධාර ලබා දීමට සහ ඒ පිළිබඳ මනා අවබෝධයකින් යුතු පිරිසක් එහි නිරන්තරයෙන් රැඳී සිටිය යුතු බව ද හෙතෙම පැවසුවා.

මේ අතර අධික උෂ්ණය නිසා තාප කම්පන තත්ත්වයට පත්වී එප්පාවල පදිංචි දෙදෙනකු මිය ගොස් තිබෙනවා.

ඉන් එක් අයකු අවුරුදු උත්සවයකදී කඹ ඇදීමේ තරගයට සහභාගි වී තෙහෙට්ටුවට තම හිසට අයිස් වතුර දමා ගැනීමෙන් පසු ද අනෙක් පුද්ගලයා තම කුඹුරේ තණකොළ කැපීමෙන් පසු අව් රස්නය නිසා දිය නා තිබීමෙන් ද සංකූලතා හට ගැනීමෙන් මියගිය බව එප්පාවල හදිසි මරණ පරික්ෂකවරයා පැවසුවා.

එප්පාවල පහළ සියඹලෑව පදිංචිව සිටි ඒ. ආර්.ඩී. අතුල ධම්මික (34) සහ එප්පාවල කටියාව යාය 02 පදිංචිව සිටි එල්.ජී. විජේසිංහ (38) යන දෙදෙනායි මෙසේ මිය ගොස් ඇත්තේ.

ඒ.ආර්.ඩී. අතුල ධම්මික පසුගිය 16 වන දා අවුරුදු උත්සවයේදී කඹ ඇදීමේ තරගයට සහභාගි වී අධික තෙහෙට්ටුව නිසා තම නිවසට ගොස් නිවසේ තබා තිබූ ශීත කළ වතුර බෝතලයක් ගෙන තම හිසට වත්කරගෙන තිබෙනවා.

මේ හේතුවෙන් සංකූලතා තත්ත්වයක් පැන නැගීම නිසා වහා ම එප්පාවල රෝහලට ඇතුළත් කළත් එහිදී මියගොස් තිබෙනවා.

එසේ ම, කටියාව යාය 02, පදිංචිව සිටි එල්.ජී. විජේසිංහ ඉකුත් 18 වන දින තම කූඹුරට ගොස් ලියදිවල තණකොළ කපා තෙහෙට්ටු වී අසල ඇති ඇළට බැස දිය නා ගොඩට ඒමෙන් පසුව මියගොස් ඇති බව එප්පාවල නාගරික හදිසි මරණ පරීක්ෂක එම්. පී. එස්. ජයවික්‍රම මහතා පැවසුවා.

මෙම මරණ දෙක පිළිබඳව එප්පාවල පොලිසියේ පොලිස් සැරයන් රෝහිත (62673) පරීක්ෂණ පවත්වා මරණ පරීක්ෂණයේදී සාක්ෂි මෙහෙයවා තිබෙනවා.

මෙම මරණ දෙක ම සම්බන්ධව එප්පාවල රජයේ රෝහලේ වෛද්‍ය එන්.එච්. දිසානායක පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකොට ඇති අතර මෙම දෙදෙනා ම මියගොස් ඇත්තේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා කම්පන තත්ත්වයට පත්වී හදිසි හෘදයාබාධ තත්ත්වයට පත්වීමෙන් බවට හදිසි මරණ පරීක්ෂකවරයා වෙත වාර්තාවක් ලබා දී තිබෙනවා.

පොලිස් සාක්ෂි සහ වෛද්‍ය සාක්ෂි උපයෝගි කර ගනිමින් මෙම මරණ දෙකම මේ දිනවල පවතින අධික උෂ්ණ තත්ත්වය නිසා ශරීරය තාප කම්පනය වී හෘදයාබාධය ඇති වී මිය ගිය බවට එප්පාවල හදිසි මරණ පරීක්ෂක එම්. පී. එස්. ජයවික්‍රම මහතාගේ තීරණය වුණා.