hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 15, පෙ.ව. 8:49



සහල් සඳහා රජය විසින් පාලන මිල පැන වුවද පාලන මිලට සහල් මෝල්වලින් ලබා නොදීම නිසාත් ඉතා සූක්ෂම ලෙස වැඩි මිලට සහල් තොග වෙළඳපොළට ලබාදීම හේතුවෙන් බොහෝ වෙළඳසැල් හිමියන් සහල් අලෙවියෙන් ඉවත්ව සිටීම නිසා රට පුරා දැඩි සහල් හිඟයක් පවතින බව හාල් අලෙවි කරන ව්‍යාපාරිකයන් පවසනවා.

රජයේ ක්‍රියාත්මක පාලන මිල සූක්ෂම ලෙස මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් වෙනස් කරමින් මෙම නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි ඔවුන්හෙළිදරව් කරනවා.

සහල් අලෙවි කරන ව්‍යාපාරිකයන් පවසා සිටියේ මේ වන විට සහල්  නිෂ්පාදනය කරන මෝල් වලින් තම වෙළඳ සැල් වලට සහල් කිලෝ එකක් රුපියල් 260ත් 270 මිලට ලබාදීම සිදුකරන බව යි.

එහෙත් බිල සටහන් කිරීමේදී සහල් කිලෝවක් රුපියල් 218 ක තොග මිල එහි සදහන් කරමින් අමතරව හිඟ මුදලක් එසේ නොමැති නම් ප්‍රවාහන ගාස්තුවක් එමෙන්ම වෙනත් සහල් වර්ගයක් මිලදී ගත් බවට සටහන් කරමින් රුපියල් 260, 270 ගණනක් වන්නට තවත් මුදලක් අමතරව අයකර ගැනීම සිදු කරන බව ඔහු හෙළිදරව් කිරීම විශේෂත්වයක්.

මෙම හේතුව නිසා බොහෝ වෙළඳසැල් හිමියන් සහල් අලෙවි කිරීම් සම්පූර්ණයෙන්ම නවතා විදේශ රටවලින් ගෙන්වන සහල් පමණක් අලෙවි කිරීම සිදු කරනවා.

ඇතැම් තොග අලෙවිකරණ ව්‍යාපාරිකයන් කියා සිටියේ සහල් මෝල්වලින් සූක්ෂම ලෙස නීතියෙන් බේරීම සඳහා සහල් අලෙවි කිරීම් නිසා තමන්ද සූක්ෂම ලෙස ප්‍රසිද්ධියේ සහල්වලට 220 ක පාලන මිලක් සටහන් කරමින් බිල්පතේ අගට හිඟ මුදල ලෙස සටහන් කරමින් වැඩි මිලට සහල් අලෙවි කිරීම සිදුකරන බව යි.

එසේ නොමැති වුවහොත් ජනතාවට ආහාර නොමැති වෙන නිසා මෙම උපක්‍රමශීලී ක්‍රමය භාවිතා කිරීමට සිදු ව ඇතැයි ඇතැම් ව්‍යාපාරිකයන් සඳහන් කළා.

තවත් පිරිසක් කියා සිටියේ කඩිනමින් රජය මැදිහත් වී ප්‍රධාන පෙළේ සහල් මෝල්වලින් පාලන මිලට වෙළඳපොළට සහල් නිකුත් කිරීම සිදු කරන්නේ නම් මෙම තත්ත්වය උදා නොවන බව යි.

සාමාන්‍ය වෙළදසැල් හිමියාට පමණක් නීතිය ක්‍රියාත්මක වන බවත් විශාල දඩයක් ගෙවීමට සිදු වෙන නිසා සහල් අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුව තිබෙන බවත් ඔවුන් කියා සිටියා.

කෙසේ වෙතත් රජයේ පාලන මිලට ලංකා සතොස මගින් භාණ්ඩ ලබා දෙන බවට ප්‍රකාශ කළ ද දඹුල්ල නගරයේ පිහිටා ඇති සතොස වෙළඳසැලට ගොස් විමසීමේ දී එහි අත්‍යවශ්‍ය භාණ්ඩ පරිප්පු, සීනි, කිරිපිටි, හාල් ආදී ආහාරපාන කිසිවක් නොමැති බව එහි සේවකයන් ප්‍රකාශ කළා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස