hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 25, පෙ.ව. 10:01



නව බදු පනත හේතුවෙන් වරාය සේවකයන් ඉච්ඡාභංගත්වයට පත්වීම නිසා වරායේ කාර්යක්ෂමතාව මේ වන විට බොහෝ සෙයින් අඩු වී ඇතැයි වරාය වෘත්තීය සමිති චෝදනා කරනවා.

මෙම බදු පනත නිසා වරාය සේවකයන් අතට පත්වන්නේ ඉතාම සුළු මුදලක් බවද එම නිසා ඇතැම් සේවකයන්ට ඔවුන්ගේ දෛනික ජීවිතයේ වැඩකටයුතු පවා කරගෙන යෑමට නොහැකි වී ඇති බවද එම නිසා එම පුද්ගලයන් දැඩි කලකිරීමෙන් සිටින බවද වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළා.

මේ හේතුවෙන් වරාය සේවකයන් සෙමින් වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයකද නිරත වන බවට වාර්තා වී ඇතැයිද එය වරායේ වැඩකටයුතුවලට විශාල බාධාවක් බවද වරාය වෘත්තීය සමිති පැවැසුවා.

මෙම බදු පනත පිළිබඳ වරාය පාලනාධිකාරිය සමඟ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවද ඊට කිසිදු නිශ්චිත විසඳුමක් නොලැබුණු බවද ඒ අනුව මීට ගත හැකි පියවර සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට සියලු වරාය වෘත්තීය සමිති සූදානමින් සිටින බවද වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළා.