hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 27, පෙ.ව. 4:17



උත්සව සමයේදී ස්වයං රැකියාවක් ලෙස ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීමට තාවකාලික අවසරයක් ලබා දීමට තම අමාත්‍යංශය කටයුතු කරන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ගාල්ලේදී පැවති නව බස් රථ බෙදා දීමේ උත්සවයකට සහභාගි වෙමින්.

ඒ අනුව, අප්‍රේල් 1 වන දා සිට 12 වන දා දක්වා වන කාල පරිච්ඡේදය තුළ මාර්ග රක්ෂිත ආශ්‍රිතව වෙන් කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය සහිතව ස්ථිර ඉදිකිරීම් සිදු නොකර සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිවන බව බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.

අමාත්‍යවරයා කියා සිටියේ, මේ වන විට මහරගම නගරය ඇතුළු ස්ථාන කීපයක රිදිපිළි ඇතුළු ඇඟලුම් අලෙවි කිරීම සඳහා මෙවැනි විශේෂිත ස්ථාන වෙන් කර දී තිබෙන බව ත් දිවයිනේ අනෙකුත් සියලු ම ප්‍රදේශවලත් එලෙසින්ම උත්සව සමය නිමවන තුරු තාවකාලිකව ස්වයං රැකියාවල නිරත වන නිෂ්පාදකයින්ට සෘජුවම සිය නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවයි.

“රට තුළ පැවති කොවිඩ් වසංගත තත්ත්වය ඇතුළු අර්බුද හේතුවෙන් ගෙවුණු වසර දෙක තුළ ම සිංහල හින්දු අලුත් අවුරුද්ද සුපුරුදු පරිදි සැමරීමේ අවස්ථාව අපේ රටේ ජනතාවට අහිමි වුණා. එම නිසා බොහෝ නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ අපහසුතාවන් රැසකට ද මුහුණ දීමට සිදු වුණා. ස්වයං රැකියාවක් ලෙස ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදනය සිදු කරන එවැනි ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරිම සඳහා උත්සව සමය වෙනුවෙන් තාවකාලික අවසරයක් ලබා දීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය කටයුතු කරනවා,” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.