hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 12, පෙ.ව. 11:11



මේවන විට නව ජනාධිපතිවරයා ලෙස නම් කිහිපයක් යෝජනා වී තිබෙනවා.

ඒ අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගේම ඉන් පිටත සිටින කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපති ජනාධිපති නිතිඥ සාලිය පීරිස් මහතාගේ නමත් මේවන විට ජනාධිපති ධූරය සඳහා යෝජනා වී තිබෙනවා.

කෙසේ වෙතත් ඒ පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති නිතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ තමා කිසිදු දේශපාලන තනතුරකට පත් වීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.

පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකා නීතීඥ සංගමයට සහ නීතීඥ වෘත්තියට රට තුල වැදගත් කාර්ය භාරයක් ඉටු කිරීමට හැකි වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම තීරණාත්මක අවස්ථාවේදී එය දිගටම කරගෙන යාමට අවශ්‍ය බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරය දැරීමට සහ සිය වෘත්තීය කටයුතු තුලින් සෑහීමකට පත්වන බවත් ජනාධිපති නීතීඥ සාලිය මහතා පීරිස් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. 

මේ අතර අන්තර් කාලීන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පත් කරන ලෙස හිටපු ආණ්ඩුකාරවරුන් කීපදෙනෙකු ඊයේ(11) ඉල්ලීමක් සිදු කර තිබුණා.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපි යොමු කරමින්.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයකටද එහි පිටපත් යොමු කර තිබුණා. 

එම ලිපියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ජාතික ලැයිස්තුවෙන් අන්තර්කාලීන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමටයි.

අදාළ ලිපිය කතානායකවරයාට යොමු කර ඇත්තේ, හිටපු ආණ්ඩුකාරවරු වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, රජිත් කීර්ති තෙන්කෝන් හා අසාද් සාලි යන මහත්වරුන් තිදෙනා යි.

‍සියලු පාර්ශවලට එකඟ විය හැකි නිර්පාක්ෂික සහ ස්වාධීනව කටයුතු කළ සාලිය පීරිස් අන්තර්කාලීන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීම සුදුසු යැයි ඔවුන් රටේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ මහ ජනතාවට යෝජනා කරන බව එම ලිපියේ දැක්වෙනවා.

අදාළ ලිපිය පහතින්,