hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මාර්තු 29, පෙ.ව. 2:40



ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සුර්ය විදුලි බලාගාරයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මීට පෙර සාම්පූර් ගල්අඟුරු බලාගාරය ඉදි කිරීමට සැලසුම් කළ ස්ථානයේම මෙගාවොට් 135ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ඒකාබද්ධව අදියර 02ක් යටතේ ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය එකඟතාවයකට පැමිණ ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව නිකුත් කළ කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ දැක්වෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දීයාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් එකතුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදුලිබල හා බලශත්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 42.5ක සම්පූර්ණ ආයෝජනයකින් මෙගාවොට් 50ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 23.6ක ඇස්තමේන්තුගත වියදමකින් සාම්පූර් සිට කප්පල්තුරේ දක්වා කිලෝමීටර් 40ක දිගකින් යුත් කිලෝමීටර් 220ක සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට අපේක්ෂිතයි.

මෙම අදියර 2024 සිට 2025 දක්වා වසර 2කින් නිම කිරීමට නියමිත බව සඳහන්.

ව්‍යාපෘතියෙහි අදියර දෙකකදී අමෙරිකානු ඩොලර් මිලියන 72ක සම්පූර්ණ අයෝජනයක් යටතේ අතිරේක මෙගාවොට් 85ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදි කිරීමට නියමිතයි.

එහි දෙවන අදියරේදී ජනනය කරනු ලබන විදුලිය බෙදාහැරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 42ක ඇස්තමේන්තුගත වියදමින් කප්පල්තුරේ සිට නව හබරණ දක්වා කිලෝවෝල්ට් 220ක ධාරිතාවක් සහිත කිලෝමීටර් 76ක දිගින් යුත් සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට ද සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා විදුලිබල හා බලශත්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත්කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.