hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 19, පෙ.ව. 10:07



අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහත්වරුන් මැයි 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ලබාදුන් නියෝගයකට අනුවයි.

නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රියාස් බාරි ප්‍රකාශ කළේ සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන සැකකරුවන් අරගලවලට පහරදීමේ සිද්ධියට සක්‍රියව දායක වී ඇති බවයි.

ළහිරු වීරසේකර නමැති සාක්ෂිකරු ලබා දී ඇති ප්‍රකාශවලින් සනත් නිශාන්ත නමැති සැකකරු පිරිස් ප්‍රකෝප කළ බවට අනාවරණ වී ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රියාස් බාරි මහතා මෙසේ සදහන් කර තිබෙනවා.

“ස්වාමීනි, මෙම නඩුවේ 4 වන සැකකරු ලෙස අධිකරණයට ඉදිරිපත් කරන සනත් නිශාන්ත නැමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම පහරදීමට සක්‍රීයව දායකත්වය ලබා දී ඇති බවට ලහිරු වීරසේකර සහ තවත් දෙදෙනෙකු මේ වන විට සාක්ෂි ලබාදී තිබෙනවා. ලහිරු වීරසේකරගේ ප්‍රකාශයේ සටහන් වෙනවා සනත් නිශාන්ත නමැති මෙම සැකකරු “ගහපියව්” , “මරපියව්” වැනි වචන භාවිත කරමින් අරගල භූමියට පැමිණිලා පහරදීමට සක්‍රීය දායකත්වය ලබාදී ඇති බව.”

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා තවදුරටත් කරුණු දක්වමින් මෙසේ සඳහන් කළා,

“ස්වාමීනි, මෙම නඩුවේ පස්වැනි පස්වැනි සැකකරු ලෙස නම් කර සිටින මිලාන් ජයතිලක නැමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද මෙම පහරදීමට සක්‍රීයව දායකත්වය සැපයූ බවට ඇසින් දුටු සාක්ෂි මේ වන විට සටහන් විට තිබෙනවා. ඉඳුනිල් සෙනරත් බණ්ඩාර නැමැත්තෙකු සාක්ෂි දී තිබෙනවා. පහරදීම සිදුවූ අවස්ථාවේදී මිලාන් ජයතිලක නැමැති සැකකරු “ගහපාං, ඕකව මරපං” කියා තමන් අසළ සිටි පිරිසට පැවසූ බව. ඒ සමගම එම පිරිස තමන්ට තවදුරටත් පොලුවලින් පහර දුන් බව සාක්ෂිකරු තම ප්‍රකාශය සඳහන් කර තිබෙනවා.”

මෙහි දී මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ප්‍රකාශ කර තිබුණේ ළහිරු වීරසේකර නමැත්තාට එරෙහි ව මෙම අධිකරණයේ නඩු පවතින බවයි.

සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් ඔවුන් නීතිවිරෝධි ජනරාශියක සාමාජිකයින් නොවූ බව ප්‍රකාශ කළ අතර, ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, ඊට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විරෝධය පළ කළා.

මෙහිදී මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙසේ ප්‍රශ්න කළා.

“මෙම සැකකරුවන් දෙදෙනාට විරුද්ධව අද දින අධිකරණයට ඉදිරිපත් කරන්නේ ඇසින් දුටු සාක්ෂි පමණද? ලහිරු වීරසේකර කියන්නෙත් කලහාකාරී සිදුවීම් සම්බන්ධයෙන් මෙම අධිකරණයෙන්ම නඩු පවතින්නෙක්.”

ඊට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙසේ පිළිතුරු දුන්නා,

“ස්වාමීනි මෙම සැකකරුවන් දෙදෙනා මෙම පහරදීමට සම්බන්ධ වූ බවට වීඩියෝ සාක්ෂි තිබෙනවා. මෙම සිදුවීමට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාදයක් තිබෙනවා යැයි සමාජයේ මහජන කැලඹීමක් තිබෙනවා. එබැවින් එම මෙම සැකකරුවන්ට ඇප ලබා දීමක් සිදු වුවහොත් තවත් මහජන කැළඹීමක් ඇති විය හැකියි. එබැවින් මෙම අවස්ථාවේ මවුන්ට ඇප ලබාදීමට නීතිපතිවරයා විරුද්ධයි.”

ඒ අනුව, මැයි 25 වනදා දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට නිසි ආරක්ෂාව සපයන ලෙස ද නියෝග කළා.

නඩුව කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් ද එය නිරීක්ෂණය කිරීම සඳහා පෙනී සිටියා.