hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 26, පෙ.ව. 2:07



අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාමඩල, ජංසගම, වලෙවත්ත යන ප්‍රදේශතුල නිසි  අයුරින් බලපත්‍ර නොගෙන හා බලපත්‍ර කොන්දේසි බරපතල ලෙස උල්ලංඝණය කරමින් සිදු කරන ලද වැලි කැනීමේ හේතුවෙන් සිදුව ඇති පරිසර විනාශය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා දේශපාලන අධිකාරියේ හා රාජ්‍ය නිලධාරීන් රැසක් එම ප්‍රදේශයන්හි ඊයේ (25) දින නිරීක්ෂණ චාරිකාවක නියෙලෙන ලදි.

අදාළ ප්‍රදේශයේ සිදුවන අනවසර වැලි කැනීම් සම්බන්ධයෙන් අදාල වගකිවයුතු නිලධාරීන්ගේ නිසි සොයා බැලීමක් නොමැති කම හේතුවෙන් සිදුවන පරිසර විනාශය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පළවූ වාර්තා කීපයක් මත නිලධාරීන්ගේ දැඩි අවධානය මේ සම්බන්ධයෙන් ලැබී තිබෙනවා.

විශේෂයෙන්ම මෙම නිරීක්ෂණ චාරිකාවට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, දිස්ත්‍රික් ලේකම් ප්‍රියන්ත සුමනසේකර මහතා ප්‍රමුඛ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යන්සයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්වී සිටියා.

විශේෂයෙන්ම මෙම නිරීක්ෂන චාරිකාවේදී කුඹුරු ඉඩම් තුල අනවසරයෙන් සිදුකර තිබෙන මහා පරිමාණ වැලි කැනීම් නිසා සිදුව තිබෙන පරිසර විනාශය සම්බන්ධයෙන් අවධානය යොමු වුණා.

කෙසේ නමුත් මෙතක් කල් මේ සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන්ද පැමිණි දේශපාලඥයින් විසින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලද අතර එහිදී අදාළ නිලධාරීන් කියා සිටියේ ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මේ ආකාරයෙන් මිට වසරකට පමණ පෙරද එවකට සිටි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම ප්‍රදේශයේ සිදුකල නිරීක්ෂණ චාරිකාවකදීද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධරීන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවයි කෙසේ නමුත් අද වනවිටත් මේ සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක නොවීම තුල ඉදිරියේදී ක්‍රියාත්මක කරෙන නිතිය සම්බන්ධයෙන් ඇත්තේ බරපතල ගැටළුවක් පමණි.

අතුරුදහන් වූ යන්ත්‍ර සුත්‍ර

කෙසේ නමුත් රෑ දහවල් නොමැතිව යන්ත්‍ර සුත්‍ර යොදා ගනිමින් වැලි කැනීම කරනු ලබන මෙම ප්‍රදේශයේ  ජූලි 25 වනදා දේශපාලඥයින් හා නිලධාරීන් මෙම ප්‍රදේශයේ සංචාරය කරන විට කිසිදු ආකාරයක වැලි කැනීම් සිදුකරන ස්ථානයක් නිරීක්ෂණය නොවුණි.

ස්ථාන කීපයක වැලි කැනීම් වෙනුවෙන් යොදා ගනු ලබන යන්ත්‍ර සුත්‍ර කීපයක් පමණක් දක්නට ලැබුනත් බොහෝ යන්ත්‍ර සුත්‍ර හා පුද්ගලයින් ප්‍රදේශයෙන් අතුරුදහන් වී තිබීම විමතියට කරුණකි. එයින් හැගවෙන්නේ නිලධාරීන්ගේ පැමිණීම අදාල ජාවාරම්කරුවන්ට කලින් සන්නිවේදනය වී තිබීම නොවේද?

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව සියලුදෙනා හමුවේ කියා සිටියේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිගේ සිට පොලිස් නිලධාරීන්, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යන්සයේ නිලධාරීන් අල්ලස් ලබා ගනිමින් මෙම නීති විරෝධී වැලි හෑරීම් සමබන්ධයෙන් නිසි අයුරින් ක්‍රියාත්මක නොකරන  බවයි.

එමෙන්ම අම්බලන්තොට වලවෙවත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මකවන පවුල් 500කට අධික ප්‍රමාණයක් සදහා පානිය ජලය සැපයෙන ‘’වලව නදී’’ ප්‍රජාමුල ජල සම්පාදනය සමිතියේ නිලධාරීන් කියා සිටියේ මෙම වැලි කැනීම හේතුවෙන් ජලමුලාශ්‍ර සිදියාමකට ලක්වීම හේතුවෙන් ජනතාවට අවශ්‍ය පානිය ජලය ලබාදීමටද ගැටළු ඇතිවී තිබෙන බවයි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා කියා සිටියේ නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකළ නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූලව ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

හම්බන්තොටරාහුල් සමන්ත හෙට්ටිආරච්චි