hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මැයි 04, පෙ.ව. 10:44



“දරිද්‍රතාව හමුවේ වෙනත් විකල්පයක් නොමැති තැන” සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ආදිවාසී තරුණියක ඊයේ (03) දින උදෑසන යළි දිවයිනට පැමිණියා.

ඒ මහියංගණය, දඹාන, ගුරුකුඹුර ගම්මානයේ පදිංචි 24 හැවිරිදි ස්වර්ණා මල්කාන්ති නමැති තරුණියක්.

ඇයගේ පියා ඔත්පලව නිවසෙහි සිටින අතර සැමියා ඇය හැර ගොස් සිටියි.

ඇයට වයස අවුරුදු 5ක කුඩා දියණියක ද සිටී. එම දියණිය ගුරුකුඹුර ගම්මානයේ ම ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඇය තම ගමේ විදේශ රැකියා තැරැව්කරුවෙකු මාර්ගයෙන් කොළඹ, මරදානේ පිහිටි ජේසීම් විදේශ රැකියා ආයතනය වෙත ගොස් කැදවා ගෙන පැමිණ තිබෙනවා.

එහිදී ඇය සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා යැවීමට කටයුතු සූදානම් කර ඇති අතර, රැකියාවට යාමට පෙර ඇයට රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබා දෙන බවයි පවසා ඇත්තේ.

එහෙත් අවසානයේ ඇය වෙත එම රැකියා නියෝජිතවරයා ලබා දී ඇත්තේ රුපියල් 64,000ක මුදලක් පමණි.

අනතුරුව ස්වර්ණා මල්කාන්ති, ඇගේ වැඩිමහල් සහෝදරිය සමග මීට මාස දෙකකට පමණ පෙර සෞදි අරාබියේ ගෘහ සේවය සදහා පිටත්ව ගොස් තිබෙනවා.

ඇය තම අත්දැකීම් මෙලෙස පැවසුවා,

“මුලින් ම එරට දමාම් නුවර ගුරුවරියකගේ නිවසේ මාසයක් පමණ සේවයෙහි නිරත වුණා. මහල් 3කින් සමන්විත එම නිවසෙහි සිටින දරුවන් ඉතාමත් දඟකාර ක්‍රියාවල නිරත වන බැවින් ඔවුන් බලා ගැනීම සහ නිවසෙහි අනෙකුත් වැඩ කිරීම අපහසු නිසා, එම නිවසෙහි මාසයක් පමණ සේවය කිරීමෙන් පසුව ඉවත් වීමට අවශ්‍ය බව දැන්වූවා. ඔවුන් මගේ මාසික වැටුප ගෙවා මාව යළිත් සෞදි අරාබියේ රැකියා නියෝජිතවරයා වෙත භාර දුන්නා. ඉන්පසුව මාව යළිත් වෙනත් නිවසක වැඩට ගිහිං දැම්මා. ඒ ගෙදරත් තට්ටු තුනක් තියෙනවා. ළමයි 6 දෙනෙක් ඉන්නවා. ඒ ගෙදර බාබා මොනවා හරි පොඩි රැකියාවක් කරන්නේ. මම උදේ පාන්දර නැගිටලා රෑ වෙනකම් වැඩ කරනවා. ඒ ගෙදර මැඩම් හරි ම සැරයි. එයා නිතර ම ‘කුකුළි, කුකුළි, සුරා, සුරා’ කියනවා. ඒ කියන්නේ ඉක්මනට, ඉක්මනට වැඩ කරන්නන කියලා.

ඒ මැඩම් මට නිතර ම ගැහුවා. එයා නිතර ම පයින් ගහන්නෙ. මාව කොණ්ඩෙන් ඇදලා බිම දාල පාගනවා. මට මේ පසුගිය ඒ අයගේ රාමසාන් උත්සව සමයේ තවත් ගෙවල් දෙකක වැඩට අරං ගියා. ඒ අතරෙ මැඩම්ගෙ අම්මගෙ ගෙදරත් වැඩ කරන්න වුණා. එහෙදි එයාගෙ මල්ලී මට විවිධ යෝජනා කළා. බලපෑම් කළා. එහෙදි මට අවස්ථා පහකදී පමණ සිහිය නැති වුනා. ඒ අවස්ථාවලදී, ඔහු මගෙන් ඔහුගේ අවශ්‍යතා ඉටු කර ගෙන තියෙනවා. මීට අමතරව චොකලට් වගයක් දීලත් මාව සිහි නැති කළා. ඒ අය කියන්නෙ මාව “මෝහනයට” පත් කරනවා කියලයි. මට බැරි ම තැන මම ඒ ගෙදර අයට කිව්වා මාව ලංකාවට යවන්න කියල. මම ගෙදරටත් මං විඳින දුක් ගැන කිව්වා.

පස්සෙ මට පඩි නොදී සෞදි අරාබියේ රැකියා ඒජන්සියට ගෙනත් භාර දුන්නා. එහෙදි ඒජන්සිය භාර බාබා මට ගැහුවා. ඔළුවට ත් ගැහුවා. ඒ සෞදි අරාබි ඒජන්සිය මාව ලංකාවට යවන්න රුපියල් ලක්ෂ 20ක් ඉල්ලුවා. ලංකාවේ ජේසීම් ඒජන්සිය මාව ලංකාවට ගෙන්වා ගන්න රුපියල් ලක්ෂ 10ක් ඉල්ලුවා. මගේ අක්කටත් වෙලා තියෙන්නෙ මට වුණ දේවල් ම යි. නමුත් ඒවා ගෙදරට, ලංකාවට, ලෝකයට කියන්න එයාට ෆෝන් එකක් නැහැ. මේ වෙනකොට එයා මරල ද දන්නෙ නැහැ. අක්කටත් මගේ වයසෙ දුවෙක් ඉන්නවා. එයා යන්නෙන් ගුරුකුඹුරෙ ඉස්කෝලෙට. සෞදි අරාබියේ මේ වෙනකොට අහිංසක මිනිස්සු ළමයි දාල ඇවිත් ගොඩක් දුක් විඳිනවා.”

ස්වර්ණා මල්කාන්ති අද උදෑසන 9.05ට ගල්ෆ් ගුවන් සේවයේ GF-147 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඇය මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ පැමිණිලි කිරීමෙන් අනතුරුව, මහියංගනය රෝහලෙහි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා බස් රථයකින් පිටත්ව ගියා.