hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 08, පෙ.ව. 12:01



නව වසර (2024) සදහා රජයේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන්  ඇතුලත් කිරිමේ සම්මුඛ පරික්ෂණ මේ වනවිට අවසන් ව තිබේ. ඇතැම් පාසල් විසින් පළමු ශ්‍රේණියට ඇතුලත් කරගැනිම සදහා තොරාගනු ලැබු සිසුන්ගේ නාම ලේඛණ මේ වනවිටත් ප්‍රදර්ශනයට තබා ඇත්තේය.  

ඒ කොයිහැටිවුවද රජයේ පාසල් සදහා පළමු ශ්‍රේණියට  ඇතුලත් කළ ළමුන්ගේ සංඛ්‍යාව  ක්‍රමයෙන් අඩුවිමේ  තත්වයක් දක්නට ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ දත්ත නිරික්ෂණය කිරිමේ දි පෙනි යයි. අධ්‍යාපන අමාත්‍යංශයේ දත්ත වලට අනුව  2021  වර්ෂයේ දි  පළමු ශ්‍රේණියට ඇතුලත් කරණු ලැබු සිසුන්ගේ සංඛ්‍යාව  304105කි.

2022 වර්ෂයේ දි පළමු  ශ්‍රේණියට  ඇතුලත් කළ ළමුන් සංඛ්‍යාව  292,216ක් දක්වා  ළමුන් 11,889කින් අඩුවි තිබේ. පවුල් සෞඛ්‍ය කාර්යංශයේ  දත්තවලට අනුව  2022 වර්ෂයේ දි  මෙරට පුද්ගලයින්  258,235 දෙනෙකු අලුතෙන් පවුල් සැලසුම් සදහා යොමුවි තිබුණි.

මින් 30719 දෙනෙකු වන්ධ්‍යාකරණ  සැත්කම්වලට යොමුවි තිබු   අතර  මෙම දත්ත අනුව පෙනි යන්නේ අලුත බැදපු ජෝඩු පවා ළමුන්  හැදිම  සිමාකොට ඇති බවය.රටේ පවතින ආර්ථික අර්බුදය දරු සම්පත් බැලිමට  අපේක්ෂාවෙන් සිටින යුවළවල් වලට පවා දැඩි ලෙස බලපා තිබේ.ඒ විතරක් නොව පවතින ආර්ථික අර්බුදය හමුවේ ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ගේ පාසල් හැරයාම ද  වැඩිවෙමින් ඇත.

2020 වර්ෂය තුල පමණක්  ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්  9,269 දෙනෙකු පාසල් හැරගොස් තිබුණි. ආර්ථික අර්බුදය හමුවේ අවදානමට ලක්විය හැකි පවුල්  අධ්‍යාපන වියදම් කපාහැරිම ආර්ථික උපාය මාර්ගයක් ලෙස  තෝරාගෙන ඇති බැවින් මෙම වර්ෂය තුලදිත් පාසල් හැරයන ළමුන් සංඛ්‍යාව  තවදුරටත් ඉහලයාමේ හැකියාවක් පවතින  බව මහබැංකුව දත්ත අනුව පෙනි යන්නේය.

අඩු ආදායම්ලාභි පවුල් සදහා  ලිපි ද්‍රව්‍ය හා  පාසල් සැපයුම්වල හිගතාව, පාසල් උපකරණවල මිල ගණන් ඉහළයාම  නිසා එම පවුල්වල දරුවන්  දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති. පළමු ශ්‍රේණියට ඇතුලත් කරනු ලබන ළමුන්ගේ අඩුවිමක් පැවතියද සෑම දෙමව්පියකුගේම එකම  බලාපොරොත්තුව වන්නේ තම දුවා දරුවා මෙරට ඇති ජනප්‍රිය පාසලකට ඇතුලත් කරගැනීමය.

මෙරට ඇති ජාතික පාසල් සංඛ්‍යාව 396කි. එම ජාතික පාසල් අතුරින්  ජනප්‍රිය පාසල් සදහා තම දුවා දරුවන් ඇතුලත් කරගැනිම සදහා දෙමව්පියන් අතර  ඇත්තේ දැඩි තරකාරිබවකි. මෙම තත්ත්වය දිස්ත්‍රික්ක කිහිපයක හදුනාගත්  ජාතික පාසල් කිහිපයකට දැඩිව බලපා තිබේ. දෙමව්පියන් විසින් කුමන හෝ උප්පරවැටිටියක් දමා තම දුවා දරුවන් මෙම පාසල් සදහා  ඇතුලත්කරගැනිමට විවිධ උත්සාහයන් දරති.

ඇතැම් දෙමව්පියන් දේශපාලනඥයින් පිටුපස යති. තවත් පිරිසක් නිලධාරින් සහ  හිතවතුන් පිටුපස ගොස් තම දුව හෝ පුතා ජනප්‍රිය පාසලකට ඇතුලත් කිරිමට වලිකති. පාසල් සිසුන් ඇතුලත් කරගැනිම සදහා දෙමව්පියන් අතර  වැඩිම තරගකාරි බවක් ඇත්තේ  අතරමැදි ශ්‍රේණි සදහාය.කොටින්මකිවහොත්  ඇතැම් ජනප්‍රිය පාසල්වලට සිසුන්  ඇතුලත් කිරිමේ දි ලක්ෂ ගණනින්  මුදල් හුවමාරු වෙති.ඒ අතර ලිංගික අල්ලස්ස ද නැතිවා නොවේ.

 දෙමව්පියන් අතර ඇති මෙම තරගකාරි  බව නිසාම  අධ්‍යාපන අමාත්‍යංශය මගින් විවිධ අවස්ථාවලදි  පාසල් සදහා සිසුන් ඇතුලත්කරගැනිමේ දි  කටයුතු කළයුතු ආකාරය පිළිබද  චක්‍රලේඛ  මගින් උපදෙස් හා නිර්නායක හදුන්වා දි ඇත. එහෙත් අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරින් විසින්  පවත්නා චක්‍රලේඛ  විධිවිධාන ඉක්මවා  සහ නොසලකා කටයුතු කරතිබුණි. පාසලක පළමු ශ්‍රේණියේ  සිට පහ ශ්‍රේණිය දක්වා එක් පංතියක සිටිය හැකි සිසුන් සංඛ්‍යාව 40කි.

6 ශ්‍රේණියේ සිට  11 ශ්‍රේණිය දක්වා  එක් පංතියක උපරිම ලෙස සිසුන් 45ක්  සිටිය යුතු බවට  විධිමත් පරිදි නිශ්චය කොට ඇත. එහෙත් බෝහෝ ජනප්‍රිය පාසල්වල  එක්  පංතියක සිටිය යුතු  උපරිම  සිසුන්  සංඛ්‍යාව ඉක්මවා සිසුන් ඇතුලත්කරගෙන තිබුණි. මේ නිසා ළමුන් පමණක් නොව ගුරුවරුන්ද මානසික වශයෙන් පිඩාවට ලක්ව සිටිති.

 මෙවැනි පසුබිමක් තුල ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයේ ජනවාරි මස 01 සිට 2022 වර්ෂයේ  මැයි 31 දක්වා කාලය තුලදි  ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සදහා  සිසුන් ඇතුලත් කිරිම පිළිබද විශේෂ විගණනයක් සිදුකරණු ලැබිය.එම විගණන වාර්තාවට අනුව  අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා විසින් චක්‍රලේඛ මගින් හදුන්වා දි ඇති විධිමත් ක්‍රම වේදයන්ගෙන් බැහැරව විදුහල්පතිවරුන් අමතා නිකුත් කරණු ලැබු  ලිපි  උපයෝගිකරගෙන  අතරමැදි ශ්‍රේණි සදහා ( 2020 ජනවාරි 01 සිට 2022 මැයි 31 කාලය තුල)   සිසුන් 2237 දෙනෙකු  ඇතුලත් කරගැනිමට  එම ජාතික  පාසල්වල විදුහල්පතිවරුන්ට සිදුවි තිබුණි.

 එමෙන්ම අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත්කරගැනිම  2022 මැයි මස 23 දින සිට තාවකාලිකව  අත්හිටුවා තිබුනද.  2022 මැයි 23 දින සිට 2022 ඔක්තෝබර් මස 31 දින දක්වා කාලය තුල වර්තමාන අධ්‍යාපන ලේකම්වරයා විසින් ලබාදුන් ලිපි මත ජනප්‍රිය පාසල් 09ක් සදහා සිසුන් 275 දෙනෙකු  ඇතුලක්කොට  තිබුණි. කොළඹ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසල් 07ක් සදහා මෙම වර්ෂයේ (2023) අප්‍රේල් මස 26 සිට ජුලි මස දක්වා කාලය තුල සිසුන් 103 දෙනෙකු ඇතුලත්කොට  ඇති බවද මෙකි  විගණනය මගින් අනාවරණය කොට ඇත.

.මෙසේ අතිශය ජනප්‍රිය පාසල් 34ක් ඇතුළු පාසල් 41ක් සදහා  සිසුන් ඇතුලත් කරගෙන තිබු අතර එවකට අධ්‍යාපන අමාත්‍යංශයේ සිටි ලේකම්වරයා විසින් විවිධ පාර්ශවයන්ගේ ඉල්ලිම් නිර්දේශයන් හා අභියාචනයන් හා නියෝග ආදි ලිපිමත  මෙම ලිපි නිකුත්කොට තිබුණි. විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සිසුන් ඇතුලත් කරගැනිම සදහා ලිපි  3,308ක් නිකුත්කොට තිබුණි.

එසේ නිකුත්කරණු ලැබු ලිපි අතුරින් ලිපි  2367ක්    එනම්  සියයට  72ක ප්‍රමාණයක් රජයේ ඇමතිවරුන්, මහජන නියෝජිතයින්,  දේපාර්තමේන්තු ප්‍රධානින්,  ජනාධිපති කාර්යාලය, අගමැතිකාර්යාලය  ආදි විවිද තැනැත්තන්   වෙතින් ලද ඉල්ලිම්  නිර්දේශයන් අභියාචනයන්  හා නියෝග  ආදි නියෝජනවලට අනුව නිකුත් කරණු ලැබු ලිපි බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි. මේ අතර  අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින්   සිසුන් ඇතුලත්කරගන්නා ලෙස කොන්දෙසි රහිත ලිපි 1460ක්  නිකුත්කොට තිබුනි.

විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සිසුන් ඇතුලත් කරගැනිම සදහා  නිකුත්කොට තිබු ලිපි අතුරින්  ලිපි 861ක් නිකුත්කොට  තිබුණේ  අමාත්‍යවරුන්ගේ ඉල්ලිම මතය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඉල්ලිම මත නිකුත්කොට ඇති ලිපි සංඛ්‍යාව 654කි. අමාත්‍යංශ ලේකම්වරු හා දේපාර්තමේන්තු ප්‍රධානින්ගේ ඉල්ලිම් මත ලිපි 190ක් නිකුත්කොට තිබු අතර  අගමැති කාර්යාලයේ ඉල්ලිම මත ලිපි 160ක් නිකුත්කොට තිබුණි.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින්   ලිපි නිකුත් කිරිමේ දි  පාසල මගින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත විධිමත්ව  ඉදිරිපත් කරණු ලැබු   ඉල්ලුම් පත් 251ක් සදහා අදාල සිසුන් වෙත ලිපි නිකුත්කොට තිබුණි. විධිමත් ලෙස අයදුම්පතක් වත ඉදිරිපත් කොට  නොතිබු සිසුන් සදහා ලිපි  3308ක් නිකුත්කොට ඇති බව විගණන වාර්තාවේ සදහන් වේ.

ජාතික විගණන කාර්යාලය මගින්  ජාතික පාසල් සදහා අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරිම පිළිබද   කොළඹ ,ගම්පහ, කුරුණැගල,  මහනුවර යන දිස්ත්‍රික්කවල  පිහිටි ජාතික පාසල් 16ක් පරික්ෂාකරණු ලැබිය.  ඒ අනුව මෙකි පාසල්  16 හි 02 ශ්‍රේණියේ සිට 11  ශ්‍රේණිය දක්වා පන්ති 831ක් අතුරින්  පංති 703ක් සදහා චක්‍රලේඛ සිමාව ඉක්මවා  සිසුන් ඇතුලත් කොට තිබුණි. එමෙන්ම ඇතැම් පාසල් විසින්  චක්‍ර ලේඛවලින් අනුමතකර ඇති සිමාවන් ඉක්මවා 5 ශ්‍රේණියට සිසුන් ඇතුලත්කොට තිබුණි.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත්කරණු ලබන චක්‍රලේඛ ප්‍රකාරව  විදුහල්පතිවරුන් විසින් පත්කරණු ලබන කමිටුවට පරිබාහිරව  ලේකම්වරයා විසින් පත්කරණු ලබන කමිටුවේ  නිර්දේශය අනුව නිකුත් කරණු ලැබු ලිපි සංඛ්‍යාව 5028කි.  මේ අතුරින් ලිපි 1457ක් පමණ  ප්‍රමාණයක්  අදාළ දෙමව්පියන්ට හෝ භාරකරුවන් නොවන  බාහිර පාර්ශවයන් වන දේශපාලනඥයින්  ඔවුන්ගේ කාර්යමණ්ඩලය  අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින් හා  විදුහල්පතිවරුන් වෙත භාරදි තිබුණි. ඒ අනුව මෙකි ලිපිවල පිටපති අදාල දෙමව්පියන්ට හා  භාරකරුවන්ට නිකුත්කිරිමකින් තොරව  වෙනත් පාර්ශව වෙත නිකුත් කිරිම තුලින්  අධ්‍යාපන අමාත්‍යංශය අදාල ක්‍රමවේදයෙන් බැහැරව කටයුතුකර තිබුණි. මෙකි ක්‍රමවේදය තුල පාසල්වලට සිසුන් ඇතුලත් කිරිමේ දි  විවිධ අයථා ගණුදෙනු අක්‍රමිකතා, ඇතිවිමට  හැකි බවට විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

ජාතික පාසලක අතරමැදි ශ්‍රේණි සදහා  සිසුන් ඇතුලත් කරගැනිම  සදහා  ලේකම්වරයා විසින් නිකුත් කරණු ලැබු ලිපිවල  ඇතුලත්කොට ඇති කොන්දේසි දක්වා තිබුණි. ඒ අනුව  2021 වර්ෂයේ ජනවාරි සිට 2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින දක්වා  කාලය තුල අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්කරණු ලැබු ලිපි 1822ක   සංඛ්‍යාවෙන් ලිපි  1252ක්  එනම් සියයට 69ක පමණ සංඛ්‍යාවක්  කිසිම කොන්දෙසියක්  නොමැතිව  සිසුවා පාසලට ඇතුලත් කරගැනිමට  අනුමැතිය ලබාදෙමින් එම ලිපි නිකුත්කොට තිබුණි. එමෙන්ම  විගණනයේ දි භෞතිකව පරික්ෂාකරණු ලැබු පාසල් 16 තුල  චක්‍ර ලේඛයේ සදහන් විධිවාධනවලට  පටහැනිව ජාතික පාසලකින් තවත්  ජාතික පාසලකට සිසුන්  387ක්  ඇතුලත්කොට ඇති බැව් විගණන  මගින් අනාවරණය කොට ඇත.

 ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කරගැනිමේ  මෙම ක්‍රියාවලිය තුලින් දරුවන්ට සමාන ලෙස  ජාතික පාසල්වල ඇතුලත් විමට තිබු අවස්ථාව බරපතල ලෙස උල්ලංගනය කොට ඇති බවද විගණන වාර්තාවේ සදහන්ව තිබුණි. අනිත් කාරණය වන්නේ ජාතික පාසල්වල අතරමැදිශ්‍රේණි සදහා  සිසුන් ඇතුලත් කිරිම පිළිබද විස්තරාත්මක විගණනය කිරිමෙන් පසුවද  පාසල් 09ක් සදහා සිසුන්  281 දෙනෙකු ඇතුලත්කොට තිබුණේ විගණනද තුට්ටුවකටවත් මායිම් නොකරමිනි.

අමාත්‍ය මණ්ඩලය මගින්  2023 ජනවාරි 02 දිනැති අමාත්‍ය මණ්ඩල තිරණය පරිදි  අතරමැදි ශ්‍රේණි සදහා  සිසුන් ඇතුලත් කිරිමේ ක්‍රමවේදය  විධිමත් කිරිමේ අරමුණින් නව චක්‍රලේඛයක් 2023 අප්‍රේල් මස 23 වැනිදින නිකුත්කොට තිබුණි. එහෙත්  එම චක්‍ර ලේඛය නිකුත් කිරිමෙන් පසුවද  චක්‍රලේඛය කුණුකුඩයට දමා ජාතික පාසල් 09ක් සදහා සිසුන්  103 දෙනෙකු ඇතුලත්කොට තිබුණි.  ජාතික පාසල්වල අතරමැදිශ්‍රේණි සදහා සිසුන් ඇතුලත්කිරිමේ දි  අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් විසින්  චක්‍රලේඛ  විධිවිධාන අභිබවා සිය අභිතමය පරිදි  අතිතයේ සිට සිදුකරමින් පවතින  අවිධිමත් ක්‍රියාවලිය දිගින් දිගටම සිදුකරමින්  පවතින බවට විගණනය මගින් පෙන්වා දි ඇත.

සැබවින්ම මෙම තත්ත්වය නිසා අනුග්‍රහයන් නොමැති දෙමව්පියන්ගේ සහ සුදුසුකම් සපුරා ඇති සිසුන්ට ජාතික පාසලකට ඇතුලත්විමේ  සම ප්‍රවේශ අවස්ථාව අහිමිවි  තිබුණි. එමෙන්ම  පවත්නා නිති රෙගුලාසි  නොසලකාහැර මහජන නියෝජිතයින් මෙන්ම  තවත් විශේෂිත වු පුද්ගලයින් විසින් කරණු ලැබු ඉල්ලිම්  නිර්දේශ හා අනුග්‍රාහකත්ව ලිපිමත  සිසුන් ඇතුලත්කරගැනිමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කිරිම හේතුවෙන්  සිසුන් සියලු දේනට සම ප්‍ර වේශ අවස්ථා අහිමිවි ගොස් තිබුණි. 

මේ නිසා මෙවැනි ලිපි සම්බන්දයෙන්  සුවිශේෂි වු අවස්ථාවක් ලබාදිම  වැලැක්විය යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට තිබුණි. ජනප්‍රිය ලෙස හදුනාගෙන ඇති පාසල්වල  භෞතික හා මානව සම්පත  අනෙකුත් පාසල් අභිබවා පවති.මෙම තත්ත්වය නිසා මෙම පාසල්වලට සිසුන් ඇතුලත්කරගැනිම සදහා දෙමව්පියන් අතර ඇත්තේ දැඩිතරගකාරි බවකි. මේ නිසා සියලු රජයේ පාසල්වල ගුණාත්මක මට්ටම වැඩිදියුණු කිරිම සදහා  අවශ්‍ය භෞතික හා මානව සම්පත ලබාදිමට රජය මගින් කටයුතුකළ යුතුය.. 

මේ සදහා විසදුමක් ලෙස රජය විසින් ජනප්‍රිය යැයි සම්මත  පාසල්වල මෙන්  සියලු භෞතික මානව පහසුකම් වලින්  සම්පුර්ණ පාසල් තුන බැගින්  සෑම ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයකම පිහිටුවා සංවර්ධනය  කිරිමට සැලසුම්කොට  තිබුණි.  එම පාසල් ජාතික පාසල් ලෙස උසස් කිරිමේ  ව්‍යාපෘතියක්ද ආරම්භකරණු ලැබිය.  එමෙන්ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පිහිටි අනිකුත් පාසල්වල දරුවන්ට  එම පහසුකම් භුක්තිවිදිමය අයිතිය සැලසෙන  පොකුරු පාසල් ක්‍රමයක් ද බිහිකිරිමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භකරණු ලැබිය.

මෙරට 396ක් වු ජාතික පාසල් සංඛ්‍යාව දහසක්  (1000)දක්වා වැඩිකිරිමේ අරමුණින් ක්‍රියාත්මක කල මෙකි ව්‍යාපෘතිය සදහා  රුපියල් මිලියන 2285.2ක මුදලක් වැයකර තිබුණි. එහෙත්   ජාතික පාසල් බවට පත්කර තිබුණේ පාසල් 22ක් පමණි..අධ්‍යාපන,ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල, හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මගින් 2021 වර්ෂය තුලදි  පාසල් 622ක  අන්තර්ජාල පහුසකම් සංවර්ධනය වෙනුවෙන්  රුපියල් මිලියන 576ක් වැයකර තිබුණි.

කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා  රාජ්‍ය අමාත්‍යංශය මගින් පාසල් 822ක් සදහා එක් පාසලක් සදහා රුපියල් මිලියන 02 බැගින් ලබාදෙනු ලැබිය. එමෙන්ම තවත් පාසල් 09ක් සදහා භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සදහා රුපියල් මිලියන 44.7ක් ද, උපකරණ මිලදි ගැනිම වෙනුවෙන්  රුපියල් මිලියන 20.5ක් ද වැයකොට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිම සදහා  ඉකුත් වසර තුන තුලදි (2020,2021,2022)  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශය විසින්  රුපියල්  පන්සිය විසිඑක්කෝටි, අනුදෙලක්ෂ,අනුහත්දහස්,තුන්සියඅනුවක (5,219,297,390) වියදමක් දරා තිබුනද  සැලසුම් කළ පරිදි ජාතික අධ්‍යාපන  ප්‍රතිසංස්කරණයන්  සිදුකිරිමට අපොහොසත් වි  තිබුණි. ජාතික විගණන කාර්යාලය මගින් පෙන්වාදෙන ආකාරයට.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් ඉකුත් වසර තුන තුලදි  රාජ්‍ය අමාත්‍යංශය විසින් දැරු මෙම මුදල හා  ජාතික අධ්‍යාපන ආයතනය විසින් දරනු ලැබු  රුපියල් තිස්පන්කෝටි,පන්ලක්ෂ,පනස්දෙදහස්, තුන්සිය අනුතුනක වියදම (350,552,393)  නිශ්කාර්ය  වියදමක් විමේ අවධානමක් ද පවතින බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

 ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර  හා ලෝක බැංකු ණය ආධාර මගින්  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සදහා මුදල් යොදවා තිබුණි. මෙම ප්‍රතිසංස්කරණයන්  නිසි පරිදි ක්‍රියාත්මක නොකලහොත්  වර්තමානයේ රට පත්ව ඇති  ආර්ථික දුෂ්කරතා හමුවේ  බැදිම් ගාස්තු ණය පොලි ගෙවිම මත  විශාල මුල්‍යමය පාඩුවක් වියහැකි බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම ණය ගිවිසුම  අවලංගුවිමේ අවධානමක් ද පවති.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිම සදහා  අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්  අධ්‍යාපන,ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල, හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පිහිටුවා තිබුණි. කෙසේවුවද  මෙකි රාජ්‍ය අමාත්‍යංශය  2022 ජුලි 22 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයක් මගින්  අහෝසිකොට තිබුණි. විෂය  පථයට අයත්ව තිබු  කාර්යයන් හා  කර්තව්‍යයන්  එදින සිට අධ්‍යාපන අමාත්‍යංශය යටතට  නතුකොට තිබුණි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිම සදහා ප්‍රධාන ක්ෂේත්‍ර 06ක් හදුනාගෙන තිබුණි. සියලුම කාර්යයන්ට  අදාල  මුලික ක්‍රියාකාරකම්  පස් අවුරුදු  ක්‍රියාත්මක කිරිමේ සැලැස්ම අනුව 2021 ජනවාරි,පෙබරවාරි,මාර්තු, යන මාසයන් තුලදි ක්‍රියාත්මක  කිරිමට සැලසුම්කොට තිබුණි. එහෙත් මෙම කටයුතු සැලසුම්කළ  කාලසිමාවන් තුලදි  ඉටුකිරිමට රාජ්‍ය අමාත්‍යංශයට  නොහැකිවි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

විෂයමාලා හා  ඇගයිම් ප්‍රතිසංස්කරණ සදහා පමණක්  අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබි තිබුනද  ඉතිරි ප්‍රතිසංස්කරණ 05  සදහා  කැබිනට් අනුමැතිය ලබාගැනිමට  අපොහොසත් වි තිබුණි. අධ්‍යාපන ප්‍රතිංස්කරණ  ක්‍රියාත්මක කිරිමේ ඇති  වැදගත්කම සැලකිල්ලට ගෙන ඒ සදහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවට විගණනය මගින් නිර් දේශකොට ඇත.

මේ පිළිබද  අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත්තේ 2023.03.13 දිනැතිව  ජනාධිපති කාර්යාලය විසින්  ක්‍රියාත්මක කිරිම හේතුවෙන්  නිකුත්කරණ ලද  ps/sad/education /අංක දරණ ලිපිය මගින්  යෝජිත නව අධ්‍යාපන ප්‍රතිංස්කරණ ක්‍රියාත්මක කිරිම  තාවකාලිකව අත්හිටුවන ලෙස උපදෙස් ලබි ඇති බවය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කොට ඇති කැබිනට් අනුකමිටුව මගින්  ලබාදෙන තිරණ අනුව  ඉදිරියේ දි නව අධ්‍යාපන  ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇති බවද ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන්කොට ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: