hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 15, පෙ.ව. 9:11



අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඊට අදාළ චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කරන බවද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා තවදුරටත් සඳහන් කළා.

” සාමාන්‍ය පෙළ අවසන් කළ දරුවන් වෙනුවෙන් උසස් පෙළ පන්ති ආරම්භ කරනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 452,000ක් පමණ පෙනී සිටිනවා. ඉන් 388,000ක් පාසල්වල ප්‍රථම සහ දෙවන වතාවට පෙනී සිටින දරුවන් බව පැවසිය යුතුයි. ඒ අනුව එම සිසුන් පිරිසට ජූනි මාසයේ පළමු සතියේ දී උසස් පෙළ පන්තිවලට ඇතුළත් වීමට අවස්ථාව හිමි වනවා. ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැති මේ වන විටත් ලබා ගෙන තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය 15 වනදා නිකුත් කරනවා. එම විභාග අවසන් කිරීමෙන් පසුව සාමාන්‍ය පාසල් කටයුතු මැයි මස 20 වනදා ආරම්භ කරනවා.

ඒ වගේම අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියරට අප පැමිණ සිටිනවා. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කොට එහි චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතයි. ඊට අනුව දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කෙරෙන අතර ඒවායේ අධීක්ෂණය සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය වනවා. ඉදිරියේ දී පවතින අධ්‍යාපන කළාප 100 ක්‍රමානුකූව වැඩි වීමට ද නියමිතයි. පාසල් පර්ෂ ද මුල්කරගනිමින් 01 වසර සිට 11 වසර දක්වා පන්ති තිබෙන පාසල්වල සිසුන් උසස් පෙළ සඳහා ඒ පර්ෂදයේ විෂය ධාරා පවතින ප්‍රමුඛ පාසල් සඳහා අනුයුක්ත කිරීමට හැකි වන පරිදි පාසල් බලධාරීන්ට බලය ලබා දීමක් ද මෙහිදී සිදු වනවා.

එමෙන්ම ගුරු පුරප්පාඩු පිරවීම සඳහා රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය සහ තාක්ෂණ විෂය ධාරාව මෙන්ම විදේශ භාෂා පිළිබඳ උපාධිධාරීන්ට සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබෙනවා. එම සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ 7000ක පමණ පිරිස අතුරින් 3000කට වැඩි පිරිසකට විෂය ගැලපීම මත පත්වීම් ලබාදීමේ කටයුතු ද මේ මේ වන විට සකස් කෙරෙමින් තිබෙනවා. ඔවුන් පුහුණුවකින් පසුව ජූනි පළමු වනදා වන විට පාසල්වලට යොමු කෙරෙනවා. මේ හරහා විද්‍යා හා තාක්ෂණ විෂය ධාරවන්වල ගුරු ඌනතාවය යම් ප්‍රමාණයකට විසඳෙන බව පැවසිය යුතුයි. අධිකරණ නියෝග මත අත්හිටුවා තිබූ පළාත් ගුරු පත්වීම් ආශ්‍රිත ගැටළු ද මේ වන විට විසඳෙමින් පවතිනවා.

ඒ වගේම විදුහල්පති ගැටළු විසඳීම සඳහා අප විසින් කමිටුවක් පත් කළා. විදුහල්පති වෘත්තීය සංගම් එකඟ වූ නිර්දේශ ඇතුළත් ප්‍රධාන කරුණු පිළිබඳව අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. විදුහල්පති දීමනා, අධි ශ්‍රේණි ඇති කිරීම සහ තවත් ප්‍රායෝගික කරුණු කිහිපයක් එම අමාත්‍ය මණ්ඩල සංදේශයේ ඇතුළත් බව ද පැවසිය යුතුයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: