hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 07, පෙ.ව. 5:19



කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි ශ්‍රේණි වලට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්.යූ ප්‍රේමතිලක මහතාගේ අත්සන හා නිල මුද්‍රා ව්‍යාජ ලෙස යොදා ළමුන් 17 දෙනෙකු ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව මධ්යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා පවසනවා.

මේ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්.යූ.ප්‍රේමතිලක වශයෙන් කූඨ ලේඛණ සකස් කර ළමුන් පාසලට ඇතුළත් කළ බවට ලද පැමිණිලි සම්බන්ධයෙන්  පොලීසිය විමර්ශනයක් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.                                                                              

චක්රලේඛණ වලට පටහැනිව 2018-2021අතර කාලයේ දී ශාන්ත අන්තෝනි බාලිකා පාසලේ අතරමැදි පංති වලට ළමුන් 180 දෙනෙකු ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන්ද පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් විමර්ශනයක් සිදුකර ඊට අදාළ වාර්තාව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වෙත බාර දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්.යූ ප්‍රේමතිලක මහතාගේ අත්සන, නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදා ගනිමින් සකස් කළ ලිපි උපයෝගි කරගෙන පාසලට  ඇතුළත් කර තිබෙන ළමුන් සම්බන්ධ සියලු තොරතුරු විගණන පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.

පාසලට ළමුන් ඇතුළත් කිරීම සඳහා යොදාගෙන තිබූ කූඨ ලේඛණ කිහිපයකම මහනුවර කලාපයේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක එම්.ඩබ්ලිව්.විජේරත්න මහතාගේ නිර්දේශයක් සමඟ අත්සන සහ නිල මුද්‍රාව දැක්වෙන අතර ඒවා සියල්ල ව්‍යාජ බව ඒ මහතාද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා.

අමාත්‍යංශ චක්‍ර ලේඛණ උල්ලංඝනය කරමින් පාසලට ළමුන් ඇතුළත් කිරීම සහ ළමුන් ඇතුළත් කිරීම සඳහා කූඨ ලේඛණ සකස් කළ බවට කරුණු තහවුරුව තිබියදී පාසලේ වර්තමාන විදුහල්පතිනිය තව දුරටත් පාසලේ සේවය කිරීම මගින් බොහෝ සාක්ෂි යටපත් වීමට ඉඩ ඇති බවද විගණන වාර්තාවේ දක්වා තිබෙනවා.                                                                        

අභූත චෝදනා නගමින් විදුහලේ කීර්ති නාමයට හානි කිරීමේ වෑයමක් ඇති බවට චෝදනා නගමින් මෙම පරීක්ෂණ යටපත් කිරීම සඳහා පිරිසක් උත්සහ ගනිමින් සිටින බවද වාර්තා වෙනවා.

මහනුවර – කමල් සුරවීර