hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 25, පෙ.ව. 2:05



තම නම හා තනතුර අවභාවිත කරමින් ව්‍යාජ නිල මුද්‍රාවක් හා ව්‍යාජ අත්සනක් යොදා 2018-2020 අතර කාලයේ දී ශාන්ත අන්තෝනි බාලිකාවට සිසුවියන් 18 දෙනෙකු ඇතුළත් කර තිබෙන බවට අධ්‍යාපන අමාත්‍යංශ අතිරේක ලේකම් හේමන්ත උදයකුමාර ප්‍රේමතිලක (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) මහතා මහනුවර පොලීසියේ  විශේෂ අපරාධ විමර්ශන කාර්යාශය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පංති වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා තම නම හා තනතුර අවභාවිත කරමින් කූඨ ලේඛණ සකස් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ප්‍රේමතිලක මහතා 21 වනදා පැමිණිල්ල සිදු කොට තිබෙනවා.

මෙම සිසුවියන් පාසලේ 02, 03, 04, 07, 08 හා 09 වසර යන පංති වලට ඇතුළත් කර තිබෙන බව විගණන අංශ මගින් කළ විමර්ශනයේ දී හෙළිව තිබුණා.

අදාළ ලිපි ඍජුවම විදුහල්පතිනිය වෙත යොමුකර තිබීම හේතුවෙන් කූඨ ලේඛණ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කළ දැනුම් දීමකට අනුව විදුහල්පතිනිය ද මෙයට පෙර මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ වී තිබෙනවා.

චක්‍ර ලේඛණ වලට පටහැනිව හා කූඨ ලේඛණ උපයෝගි කර ගනිමින් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට සිසුන් ඇතුළත් කිරීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පංච පුද්ගල කමිටුවක්ද පත්කර තිබෙනවා.

විමර්ශන නිලධාරීන් තිදෙනෙකු ගෙන් හා මධ්‍යම පළාත් සභාවේ අභ්‍යන්තර විගණන අංශ නිලධාරීන් දෙදෙනෙකු ගෙන් මෙම කමිටුවට සමන්විතයි.

මෙම විමර්ශනය ආරම්භ වූයේ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි ශ්‍රේණි වලට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්.යූ ප්‍රේමතිලක මහතාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ළමුන් 18 දෙනෙකු ඇතුළත් කර තිබෙන බව විගණන පරීක්ෂණයක දී අනාවරණය වීමත් සමඟයි.

මෙයට අමතරව වසර 2018-2021 අතර කාලයේ දී විදුහලේ 02,03,04,07,08 හා 09 ශ්‍රේනි වලට තවත් ළමුන් 180 දෙනෙකු ඇතුළත් කරගෙන තිබෙන බව විගණන අංශ මගින් මුල් වරට අනාවරණය කිරීමත් සමඟ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර අදාළ වාර්තාව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්.යූ ප්‍රේමතිලක මහතාගේ අත්සන ව්‍යාජ ලෙස යොදන ලද ලිපි ඍජුවම විදුහල්පතිනිය වෙත යොමුකර තිබෙන බැවින් ඒ සම්බන්ධ පැමිණිල්ල ඇය විසින් පොලීසියට කළ යුතු බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විදුහල්පතිනියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව විදුහල්පතිනිය මහනුවර පොලීසියේ වංචා විමර්ශන ඒකකය වෙත කළ පැමිණිල්ලකට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්.යූ ප්‍රේමතිලක මහතාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් ඇතුළත් කර තිබෙන සිසුවියන්ගේ නම් ලැයිස්තුවක් පදනම් කර ගනිමින් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මීට අමතරව මහනුවර හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.විජේරත්න මහතාගේ අත්සන හා ලිපි ශීර්ෂ, මුද්‍රා ව්‍යාජව සකසා මෙම විදුහලට දරුවන් රැගෙන ඇති බව විගනන පරීක්ෂණවලින් හෙළි වූ අතර වත්මන් විදුහල්පතිනිය එම ධුරයේම සිටියදී මෙම අක්‍රමිකතා පිළිබඳව විමර්ශන සිදුකිරීමේදී ගැටලුකාරී තත්ත්වයන් උද්ගත විය හැකි බවද එම විගණන වාර්තාවේ සඳහන් වෙනවා.

මහනුවර – කමල් සුරවීර