hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 06, ප.ව. 12:33



කූට ලේඛන සකසා කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පන්තිවලට දරුවන් ඇතුළත් කළ බවට. චෝදනා එල්ල වන මවුපියන් අතර රජයේ ඉහළ නිලධාරීන් පිරිසක්ද සිටින බවත් එම නිලධාරීන් වංචාවට අදාළ නිසි තොරතුරු අනාවරණය නොකළොත් ඔවුන්ට එරෙහිවද චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව මහනුවර මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියකු පැවැසුවා.

ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පන්තිවලට කූට ලේඛන උපයෝගි කරගනිමින් ළමයින් ඇතුළත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය මවුපියන් ලබාදුන් ප්‍රකාශ පදනම් කර ගනිමින් නුගවෙල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ළමයින් ඇතුළත් කිරීම සඳහා පාසලට ඉදිරිපත් කර තිබෙන ලේඛන කූට ඒවා බවට චෝදනා එල්ල වූ මවුපියන් අතරින් 14 දෙනකුගෙන් පොලිසිය මේ වනවිට ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

එම මවුපියන් ලබාදුන් ප්‍රකාශ පදනම් කර ගනිමින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ඔහු මේ වනවිට මෙම මස 13 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන  බවත් පොලිසිය පවසයි. 

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ සතිස්චන්ද්‍ර දසනායක (63) නමැති අයෙක්.

තම ලිපි ශීර්ෂ, නිල මුද්‍රාව සහ අස්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි පන්තිවලට සිසුවියන් 18 දෙනකු ඇතුළත් කර තිබෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වන හේමන්ත ප්‍රේමතිලක මහතා මහනුවර පොලිසියේ වංචා විමර්ශන අංශයට කළ පැමිණිල්ලකින් පසු අදාළ විමර්ශන ආරම්භ වුණා. 

මෙයට අමතරව වසර 2018-2021 අතර කාලයේදී ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ 02,03,04,07,08 හා 09 ශ්‍රේණිවලට තවත් සිසුන් 180 දෙනකු නියමිත නීතිමය ක්‍රමවේදයට පටහැනිව ඇතුළත් කරගෙන තිබෙන බව විගණන අංශ මඟින් අනාවරණය කිරීමත් සමඟ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර අදාළ වාර්තාව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා.