hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 05, පෙ.ව. 4:19



පාසල් සඳහා රජය විසින් නිවාඩු ලබා දුන්නද දරුවන් පැමිණෙන්නේ නම් අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට තමන් සුදානම් බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා ඒෂියන් මිරර් වෙත සදහන් කළා.

පාසල් වසා දැමීම හේතුවෙන් පැවැත්විය යුතු ශිෂ්‍යත්වය, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමද කල් දැමීමට බලධාරීන්ට සිදු වූ බවත් එම විභාග ප්‍රතිඵල නිකුත් කිරීමද දින ගණන් නොව මාස ගණනින් කල් තැබීමට සිදු වූ බවද ප්‍රනාන්දු මහතා පවසා සිටියා.

කුමන හෝ ආකාරයේ ප්‍රවාහන පහසුකමක් සම්පාදනය කර ගත හැකි ගුරුවරුන්ට පාසලට පැමිණ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ලෙසද ඔහු ඉල්ලීමක් සිදු කර සිටියා.

මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනන්දු මහතා මෙසේද සඳහන් කළා,

“විවිධ හේතු මත පසුගිය කාලය පුරා විටින් විට පාසල් වසා දැමුවා. පාසල් වසා දැමීමෙන් පාඩුව සිදු වන්නේ දරුවන්ටයි. පාසල් වසා දැමීම හේතුවෙන් පැවැත්විය යුතු ශිෂ්‍යත්වය, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමද කල් දැමීමට බලධාරීන්ට සිදු වුණා. එමෙන්ම එම විභාග ප්‍රතිඵල නිකුත් කිරීමද දින ගණන් නොව මාස ගණනින් කල් යන තත්ත්වයක් පැහැදිලිවම දක්නට තිබෙනවා. මේ සියල්ලේ පාඩුව සිදු වන්නේ දරුවන්ට බව අපි අමතක නොකළ යුතුයි.

රජය කියා සිටියත් පාසල් වහන්න කියලා අපි සූදානම් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න. පාසල් ආසන්නයේ, එමෙන්ම කුමන හෝ ආකාරයේ ප්‍රවාහන පහසුකමක් සම්පාදනය කර ගත හැකි ගුරුවරු බහුතරයක් කැමතියි පාසලට ඇවිත් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න. ඒ නිසා අපි යෝජනා කරනවා පවත්වා ගෙන යා හැකි සියළුම පාසල් විවෘත කිරීමට කටයුතු කරන ලෙස. එමෙන්ම කිසියම් දරුවෙකුට තමන් අධ්‍යාපනය ලබන පාසලට යාම සදහා ප්‍රවාහන පහසුකම් සපයා ගත නොහැකි නම් ඒ දරුවාට අවස්ථාව දෙන්න ළගම තියන පාසලට ගිහින් අධ්‍යාපනය ලබා ගන්න.

කුමන ආකාරයට හෝ අපිට අවශ්‍ය වන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නයි. විවිධ හේතු දක්වමින් පාසල් වසා දමමින් මේ සිදු කරන ක්‍රියාවලියේ ප්‍රතිඵල ලැබෙන්නේ තවත් අවුරුදු කීපයකින්. මේ රට කරවන නිලධාරීන් තමා වර්තමානයේ පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටින්නේ. අපි ඒ බව අමතක නොකළ යුතුයි. ඒ නිසා කිසිදු දරුවෙකුගේ අධ්‍යාපනය කඩා වැටෙනවාට අපි විරුද්ධයි. අපි කියන්නේ පවත්වා ගෙන යා හැකි සියළුම පාසල් විවෘත කරන්න විදුහල්පතිවරුන්ට අවසර ලබා දෙන ලෙසයි.”

හලාවත – ජූඩ් සමන්ත