hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 24, ප.ව. 10:11



මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පුත්තලම ප්‍රසිද්ධ පාසලක සිසුන් සිය විභාග ප්‍රවේශ පත්‍රය ලබා ගැනීම සඳහා ඊයේ පාසල වෙත පැමිණියා.

නමුත් සිසුන් කිහිප දෙනෙක් පැමිණ තිබුණේ පාසලට නොගැලපෙන ලෙස කොණ්ඩය සහ රැවුල වවාගෙනයි.

විභාග ප්‍රවේශපත්‍ර ගැනීමට අවශ්‍ය නම් විනයානුකූලව පාසලට පැමිණෙන ලෙස පාසලේ විනය භාර ගුරුවරයා එහිදී සිසුන්ට පවසා තිබෙනවා.

පසුව පාසලෙන් පිටතට ගිය සිසුන් යළි කොණ්ඩය සහ රැවුල කපාගෙන පාසලට පැමිණ සිය විභාග ප්‍රවේශ පත්‍රය ලබා නමුත් ගුරුවරයාගේ අවවාදයෙන් කෝප වී සිටි සිසුන් පිරිස පාසල අවසන් වීමෙන් පසු විනය භාර ගුරුවරයාගේ නිවස ඉදිරිපිටට පැමිණ කලහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන තිබෙනවා.

පුත්තලම පොලීසිය පවසන්නේ සිසුන් විසිපහක් පමණ නිවස ඉදිරිපිටට රැස්ව හූ කියමින් නිවස දෙසට ගල් ප්‍රහාර පවා එල්ල කර ඇති බවයි.

එහිදී මෙම සිසුන් තම පෙළපොත් පවා ඉරා දමනු ලබනවා.

එම අවස්ථාවේ නිවසින් පිටතට පැමිණි ගුරුවරයා සිසුන් කිහිපදෙනෙකු විසින් අල්ලා ගනිද්දී තවත් පිරිසක් ඔහුට දරුණු ලෙස පහරදී තිබෙනවා.

පුත්තලම පොලිසිය පැවසුවේ එක් සිසුවෙක් ගුරුවරයාගේ දෙතොලට එල්ල කළ ගල් පහරකින් ගුරුවරයාගේ තොල් දෙක පුපුරා ගොස් ඇති බවයි.

පහරදීමෙන් පසුව ප්‍රදේශවාසීන් එක්ව සිසුන් එම ස්ථානයෙන් පලවා හැරීමට කටයුතු කළ අතර එහිදීත් සිසුන් ගුරුවරයාට පහරදීමට උත්සාහ කළා.

පහරකෑමෙන් තුවාල ලැබූ විසිඅට හැවිරිදි ගුරුවරයා මේ වන විට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පහරදීමට සම්බන්ධ සිසුන් සිව්දෙනෙක් පුත්තලම පොලිසිය මගින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා.

ඔවුන් අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන විසි හය වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පොලිසිය පවසන්නේ පහර දීමට සෘජුව සම්බන්ධ තවත් සිසුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ගුරුවරයාගේ නිවස අසලට රැස්වූ සෙසු සිසුන් සියලු දෙනා අයුතු ජන රාශිය නැමැති චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නා බවයි.

මේ අතර ගුරුවරයාට පහර දීමේ සිද්ධිය හෙළා දකිමින් එම පාසලේ අනෙක් සිසුන් සහ ගුරුවරුන් අද පාසල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

පාසලේ ගුරුවරයෙක් මෙසේ අදහස් දක්වා සිටියා,

“ඉතින් අපිට අපේ පාසලේ ළමයින්ගේ ආරක්ෂාව වගේම ගුරුවරුන්ගේ ආරක්ෂාවත් තහවුරු කරලා දෙන ලෙස කියා සිටිනවා හැමෝටම.”