hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 11, ප.ව. 3:13



පනවා ඇති ඇදිරි නිතිය තවදුරටත් දිර්ඝ කිරිම හමුවේ රට පුරා නගරවල ආරක්ෂාව දැඩි කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව යුද හමුදාව විසින් කොළඹ නගරය ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල අද දිනයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා.

ආරක්ෂක අංශ සන්නද්ධ රථ යොදා ගනිමින් අද උදෑසන සිට කොළඹ නගරයේ ස්ථානීය මුර සංචාර ආරම්භ කර තිබුණා.

එමෙන්ම විශේෂ බලකා යතුරුපැදි ඛණ්ඩය විසින් කොළඹ, පිටකෝට්ටේ, මිරිහාන, කිරුළපන, කොල්ලුපිටිය ආදී ප්‍රදේශවල මුර සංචාර සිදුකිරීමටද අද පියවර ගෙන තිබුණා.

නගර පාළු වෙයි

ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළේ මහජන දේපළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බවයි.

අප හැටන් වාර්තාකරු පැවසූවේ හැටන් ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල ආරක්ෂාව දැඩි කිරිමට යුධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව පියවර ගෙන තිබෙන බවයි.

හැටන් , නුවරඑලිය, ගිනිගත්හේන යන නගර වල ආරක්ෂාව දැඩි කර ඇති අතර සියළුම නගර ජන ශුනය වි පවතින බවයි ඔහු සඳහන් කළේ.

පාරේ යන්න අවසර ලැබෙන හැටි

අත්‍යවශ්‍ය රාජකාරි සදහා පමණක් ගමන් කර අයගේ අනන්‍යතාවය තහවුරු කර ගැනිමෙන් අනතුරුව ඔවුනට රාජකාරි සදහා යාමට ආරක්ෂක අංශ නිලධාරි අවසර ලබාදෙනවා.

පනවා ඇති ඇදිරි නිතිය හමුවේ වුවද තේ වතු ආශ්‍රිතව තේ දළු නෙලිමේ කටයුතු සහ තේ නිෂ්පාදන කටයුතු සමාන්‍ය පරිදි සිදු කරන බව වතු පාලන අධිකාරිය පැවසුවා.

මේ අතර ඇදිරි නිතිය පැනවිමට ප්‍රථම හැටන් මාර්ගය ඔස්සේ දුම්රියෙන් සහ පෞද්ගලික බස් රථ වලින් ශ්‍රි පාද වන්දනාවේ පැමිණි පිරිසක් හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාවේ පිඩාවට පත් වි සිටින අතර එම පිරිස අකුරැස්ස, කොළඹ, මැවනැල්ල, මහියංගණය යන ප්‍රදේශවල සිට පැමිණි අය වනවා.

එම පිරිස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා, ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරයා සහ හැටන් පොලිසියේ නිලධාරින්ගේ මැදිහත් විමක් මත ඔහුන්ට අවශ්‍ය පහසුකම් සලසා දි එම පිරිස නිවෙස් කරා යොමු කිරිමට මේ වන විට පියවර ගනිමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.

අතරමං වූ අය

මෙවැනිම අතරමංව සිටි ශ්‍රි පාද වන්දනාකරුවන් පිරිසක් ඊයේ (10) දින ඔහුන්ගේ නිවාස කරා යොමු කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් පියවර ගෙන තිබුණා.

මේ අතර නගරයම පාළුවට යද්දි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් එළවළු රැගෙන  විත් අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ඒෂියන් මිරර් දඹුල්ල වාර්තාකරු පැවසුවා.

 ඇඳිරි නීතිය පැවැති 11 දින පෙරවරුවේ දඹුල්ල ,නාවුල, ගලේවෙල, සීගිරිය, ආදී ප්‍රදේශවල නගර දැඩි පාළුවට ගොස් තිබෙන බව ඔහු සඳහන් කළා.

ප්‍රධාන මාර්ග ඒ 6 සහ ඒ 9 ප්‍රධාන මාර්ග අත්‍යවශ්‍ය වාහන පමණක් ගමන් කරන අයුරු දැක ගැනීමට හැකි වූ අතර පොලිසිය එම රථ වාහන දැඩි පරීක්ෂාවට ලක් කරනවා. 

ආරක්ෂක අංශ වල සේවා සඳහා ගමන් කරමින් සිටින බොහෝ කණ්ඩායම් වලට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකිව දැඩි අසීරු අසීරුතාවයකට ලක්ව සිටින අයුරුද දඹුල්ල නගරයේ දී දැක ගැනීමේට හැකි වීම විශේෂත්වයක්.

හමුදා සෙබළුන් කන්න නෑ

ඇතැම් යුධ හමුදා සෙබළුන් පසුගිය ඊයේ (10) දින උදෑසන සිට අද (11) දින පෙරවරු දක්වාම නිරාහාරව වෙළඳසැල් ඉදිරිපිට රැඳී සිටීමට සිදු වූ බව ද ඔවුහු ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

එමෙන්ම නගරයේ සිටින යාචක පිරිස් ද උදෑසන සිට දැඩි දුෂ්කරතාවයන් වලට පත්ව සිටින අයුරු දඹුල්ල නගරයේ දී දැක ගැනීමට හැකි වුණා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පෙරවරුවේ විවිධ ප්‍රදේශවලින් ගොවීන් රැගෙන විත් තිබිණා.

ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් වෙළඳසැල් වසා දමා තිබුණ ද තවත් වෙළඳසැල් කිහිපයක් ගොවීන් වෙනුවෙන් විවෘත කොට ආර්ථික මධ්‍යස්ථානයේ ප්‍රධාන පිවිසුම් මාර්ග විවෘත කර තිබෙනවා.

ගොවීන් අමාරුවේ

ගොවීන් ඒෂියන් මිරර් වෙත කියා සිටියේ අද (11) පෙරවරු 7ට ඇඳිරි නීතිය ඉවත් කරන බවට දැනුම් දීම නිසා පෙරේදා පෙරවරුවේ සිට තම වගා බිම් වල ඇති අස්වනු නෙලා ඇසුරුම් කර තිබියදී එකවරම ඇඳිරි නීතිය පනවන බවට තොරතුරු වාර්තා වූ බවයි.

කෙසේ වෙතත් ඇතැම් ගොවීන් කියා සිටියේ නුවරඑළිය මන්දාරම් නුවර පදියපැලැල්ල ආදී ප්‍රදේශවලින් ඒ වන විටත් එළවළු රැගෙන දඹුල්ල බලා පිටත්ව තිබුණු බවයි.

රැගෙන ආ එළවළු අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි ඔවුන් කියා සිටියා.

මේ වන විට දිවයිනේ පුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී සහ කලහකාරී සිදුවීම්වලින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 250කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කෙසේ වෙතත් මේ වනවිට දිවයින පුරා සාමකාමී තත්ත්වයක් පවතින බවයි.