hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 13, පෙ.ව. 6:50



අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප්‍රදේශයේ අක්කර 1500 ක පමණ අති විශාල බඩඉරිගු වගාව සේනා දළඹු ප්‍රහාරයක් එල්ලවීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පවසනවා.

විශාල බඩඉරිඟු වගාව ඇති හොරිවිල ඉරිඟු හේන් සියල්ලම මේ දිනවල දැඩි සේනා දළඹු ප්‍රහාරයට ලක් වෙමින් තිබුණ ද මෙතෙක් කිසිදු වගකිව යුතු බලධාරියෙකු පැමිණීම සොයා බැලීමක් සිදු නොවන බවත් වෙළඳපලේ ඇති විවිධ කෘමි නාශක භාවිතා කළ ද මෙවර වගාවට හානි කරන සේනා දළඹු විශේෂය විනාශ නොවන බව හොරිවිල ගොවීන් පවසා සිටිනවා.

හොරිවිල ප්‍රදේශයේ බඩ ඉරිඟු ගොවින් කියා සිටියේ බීජ සහ බිම් සැකසීම සදහා විශාල මුදලක් වියදම් කර මෙවර සියලුම ගොවීන් බඩ ඉරිගු වගාව අක්කර 1500ට වඩා සිදු කර තිබෙන බවයි.

මේ වන විට සියලුම ගස් සේනා දළඹු ප්‍රහාරයට ලක්වෙමින් විනාශ වෙමින් යන බවත් දින කිහිපයක් ඇතුළත මෙම සේනා ප්‍රහාරයෙන් වළක්වා නොගතහොත් අක්කර 1500 ක බඩඉරිඟු අස්වැන්න රටට අහිමි වන බව ද ඔවුහු පෙන්වා දෙනවා.

හොරිවිල බඩඉරිඟු ගොවියෙකු වූ වසන්ත අජිත් කුමාර මහතා දැඩි වේදනාවෙන් යුතුව බඩ ඉරිගු වගාවේ සේනා දළඹුවන් පෙන්වා දෙමින් කියා සිටියා.

පාර්ලිමේන්තුවේ ඉන්න 225 ක් රට කන බවත් සේනා දළඹුවන් තමන්ගේ වගාවන් කන බවත් වහාම මේ පිළිබඳව අවධානය යොමු කිරීම්ට කිසිදු  අවධානය යොමු වී නැති බව ද  සඳහන් කළා.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය සහ අමාත්‍යවරයා ජනමාධ්‍යය ඉදිරියේ සේනා දළඹු ප්‍රහාර නවතාලීම සඳහා අවශ්‍ය පියවර ගත් බව ප්‍රකාශ කළ ද මෙතෙක් තම ප්‍රදේශයේ බඩඉරිඟු වගාවට කිසිදු සහනයක් හෝ ලැබී නැතැයි හෙතෙම සඳහන් කර සිටියා.

මේ අතර අක්කර ගණනාවක් බඩඉරිඟු වගාව සිදු කරන කසුන් බණ්ඩාර මහතා කියා සිටියේ රජය වහාම ක්‍රියාත්මක වී වන්දි මුදලක් ලබා දිය යුතු බවයි.

මීට පෙරද දලඹු හානියට වන්දි දෙන බවට විශාල පොරොන්දු රැසක් ලබා දුන්නද ඒවා රජයේ නිළධාරීන්ගේ සුඛ විහරණය සඳහා පමණක් යොදා ගත් බව ඒ මහතා දැඩි චෝදනා කරන්නට වුණා.

හොරිවිල ප්‍රදේශයේ බඩ ඉරිඟු හේන් වගාව වසර ගණනාවක සිට ක්‍රියාත්මක වන අතර කන්න කිහිපයක්ම සේනා දළබු ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් ඔවුහු දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවත් මෙවර ආහාරය සඳහා තිබූ වී තොග විකුණා රන් භාණ්ඩ උකසට තබා  බඩඉරිඟු වගාව ආරම්භ කළ බව ද  රජය කෙරේ තිබූ විශ්වාසය නිසාවෙන් වගා කල බව ද බඩ ඉරිඟු ගොවීන් පවසනවා.

එහෙත් මේ වන විට අක්කර 1500 ක ප්‍රමාණයක් මොහොතින් මොහොත සේනා දළඹුවන් ගේ ආහාර බවට පත්වෙමින් විනාශ වීම ගැන බලන බලධාරීන්ගේ කිසිදු අවධානයක් නැති බව බඩ ඉරිඟු ගොවියෝ පෙන්වා දෙනවා.