hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 16, පෙ.ව. 6:07



මැයි 9 වනදා රට තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ කුපිතවූවන් මහජන නියෝජිතයන් අයත් නිවාස ඇතුළු තවත් දේපළ රැසක් ගිනි තබා විනාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඊයේ දින ඔහුගේ අලව්ව, මහරච්චිමුල්ල පිහිටි ගිනිබත් වූ නිවස බැලීමට ගියා.

එහිදී ශාන්ත බණ්ඩාර මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මම ඉතාමත් කණගාටු වෙනවා සාධාරණ විදියට දේශපාලනය කරන කෙනෙක් හැටියට කවදාවත් කිසිම තැනක මහජනතාවට අපහසුතාවයක් ඇති වෙන විදියට දේශපාලනය නොකරපු කෙනෙක් වශයෙන්. අපි කිසිම වෙලාවක අපේ දඹදෙණිය ආසනයේ ගෙදරකට ගල්කැටයක් ගහන්නවත් දීලා නෑ. එහෙම ලබාදෙන්න උපදෙස් දීලත් නැහැ. ඉතින් එවැනි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරන කෙනෙක් හැටියට මේ වෙච්ච සිදුවීම හරිම කනගාටුදායකයි. මේ නිවස මටයි අයිති නිවසක් නෙවෙයි. මේක ලුතිනල් දර්ශන සමරකෝන්ට අයිති නිවස. විශේෂයෙන්ම ඔහු හිටියා නම් ඔහු අපේ රට දැය වෙනුවෙන් 1996 මේ මාතෘ භූමියේ අයිතිය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළා. ඔහුට ලැබෙන විශ්‍රාම වැටුපෙන් ඔහුගේ අම්මා මේ නිවස ගොඩනගන්න කටයුතු කළේ. විශේෂයෙන්ම රණවිරුවෙක් ගේ ලෙයින් දහඩියෙන් ගොඩ නැඟනු ගෙයක් තමයි ඒ පාපතරයන් විසින් විනාශ කළේ. මේ නිවස හදන්න ණය බැංකු තුනකින් අරගෙන තියෙනවා. ඒ ගත්තු ණය මම මහජනතාව වෙනුවෙන් කැප කරලා තියෙනවා ගෙදර අයගේ විරෝධය මත. මහජන මුදල් රුපියලක් වත් මේ ගෙවල් හදන්න අරගෙන නෑ.”

මේ අතර ගාල්ල හපුගල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාගේ නිවසද කලහකාරීන් විසින් ගිනි තබා විනාශ කර දැමූ අතර අද ඔහු සිය නිවස බැලීමට ගියා.

මේ අතර පසුගිය 9 වනදා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර ඇතිවූ නොසන්සුන්කාරී තත්වයෙන් පසු දිවයින පුරා ඇතිවූ කළහකාරී සහ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 231 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.