hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 29, පෙ.ව. 8:37



අද (29) උදෑසන 6 වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව තවදුරටත් සහාය වනු ඇති බවද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මේ වනවිට රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් සඳහන් කර ඇති අමාත්‍යවරයා, ඇතැම් ඉන්ධන පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධනය අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නොමැති බව ද සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ඉල්ලීමක් කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඇනවුම් ලබාගනිමින් අවශ්‍ය අවම තොග පවත්වාගෙන යන ලෙසයි.

මේ අතර මේ වනවිට සාමාන්‍ය පරිදි තෙල් සැපයුම සිදුවෙමින් පවතින බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයේ සමාගමේ සභාපති, මොහොමඩ් උවයිස් මහතා පවසන්නේ.

අද (29) උදෑසන වනවිට තෙල් බවුසර් සියල්ල ඛනිජ තෙල් පර්යන්තයෙන් පිටවීමට සුදානම් බව ඔහු පැවසුවා.

“කොළොන්නාව, මුතුරාජවෙල විතරක් නෙමෙයි ලංකාව පුරා තොග ගබඩා පර්යන්තයන් 13ක් තියෙනවා. ඒ සියලුදේටම අවශ්‍ය තෙල් සැපයුම නිසි පරිදි සිදුවෙනවා කියලා ඉතාම සතුටින් කියන්න කැමතියි. අපි කිසිම බාධාවකින් තොරව සත්‍යග්‍රහය කරගෙන යෑමට අවස්ථාව ලබාදීලා තිබුණා. අපි ඒ මොහොතේ ඉල්ලා සිටියේ වෘත්තීය සමිතිවලින් කිසිදු ලෙස මෙහෙයුම් කටයුතුවලට බාධා කරන්න එපා කියලා. නමුත් ඊට ඔබ්බට ගිහින් ඊයේ සවස 2 වෙද්දි මේ අය වැඩවර්ජනයක් සඳහා බලහත්කාරයෙන් අපේ සේවකයින්ව එකතු කරගත්තා. ඒ වගේම බලහත්කාරයෙන් තැන් තැන්වලට ගිහින් වැඩ කටයුතු අවහිර කළා. ඒ නිසා ජනාධිපතිතුමා සහ ඇමතිතුමා මාව දැනුවත් කළා මේ අයට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්න කියලා.

මුලින්ම අපි වෘත්තීය සමිති නායකයින්ට සහ ඍජුවම සම්බන්ධ වුණ සේවකයින්ට තාවකාලිකව වැඩට ඒම තහනම් කරනවා. ඊට අමතරව වහාම කමිටුවක් පත්කරලා කරුණු ලබාගෙන නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙනවා. අපි සේවකයින් සමඟ සාකච්ඡා කළා. ඔවුන් සාමාන්‍ය පරිදි සේවයට සම්බන්ධ වීමට කැමැත්තෙන් ඉන්නවා. ඒ අයට තියෙන එකම ප්‍රශ්නය තමා බලපෑම්වලට නතුවීම. ඒ අයට සුරක්ෂිතභාවය ලබාදෙන්න කියලා තමයි අපෙන් ඉල්ලීමක් කළේ. අපි ඒ සුරක්ෂිතභාවය ලබාදෙනවා. අද වගේ සාමාන්‍ය පරිදි ඔවුන් වැඩකරගෙන යයි. අපිට ඒකත් බැරි වුණොත් අපි තවත් විකල්පයක් ලෙස වෙනම කණ්ඩායමක් පුහුණු කරලා තියෙනවා. ඔවුන්ව යොදාගෙන බෙදාහැරීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව ඉතා වගකීමෙන් කියන්න කැමැතියි” යනුවෙන් සභාපතිවරයා පවසනවා.