hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 24, පෙ.ව. 4:31



යාපනය නෙඩුන්තීව් විෂ්ණුපුත්‍ර වෙඩිඅරසන් බලකොටුව දෙමළ ජනතාවගේ පාරම්පරික උරුමයක් බවත් එම බලකොටුව ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් බවට හුවා දැක්වීමට සිදුකරමින් තිබෙන උත්සහායන් වහාම නතර කරන්නැයි අවධාරණය කරමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සිවඥානම් ශ්‍රීධරන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

බෞද්ධ ධර්මය ආගමික අනන්‍යතාවක් මිසක සිංහල ජනතාවගේ අනන්‍යාතාවක් නොවන බව පවසන ශ්‍රීධරන් මන්ත්‍රිවරයා, වත්මන් ආණ්ඩුවත් උතුරු – නැඟෙනහිර පළාත්වල ද්‍රවිඩ ඉතිහාසය වෙනස් කිරීමට උත්සාහ කරන බවට එම ලිපියෙන් චෝදනා කර තිබෙනවා.

එම ස්ථානයේ අලුතෙන් ස්ථාපිත කෙරෙන දැන්වීම් පුවරුවල එම බලකොටුව බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් හඳුන්වාදී ඇති බවද මන්ත්‍රිවරයා එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ධරන් මන්ත්‍රිවරයා ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ මෙසේද සඳහන් කර තිබෙනවා.

යුද්ධය අවසන් වූ වසර 13ක පමණ කාලය ඇතුළත පසුගිය ආණ්ඩු උතුරු – නැඟෙනහිර පළාත්වල ජීවත් වන දෙමළ ජනතාවගේ පාරම්පරික උරුමය, භාෂාව, සංස්කෘතිය විනාශකාරී කටයුතු වත්මන් ජනාධිපතිවරයා වන ඔබගේ ආණ්ඩුව කාලයේදී වඩාත් විනාශකාරීව  සිදුවෙමින් තිබේ. මෙමඟින් මෙරට දෙමළ හා සිංහල ජනතාව අතර  තිබෙන සංහිඳියාවත් විනාශ වෙමින් පවතින බව පෙන්වා දෙනු කැමැත්තෙමි. දීර්ඝකාලීන යුද්ධයකට මුහුණදුන් අප ජනතාවට තවමත් එහි ප්‍රතිවිපාකවලින් අත්මිදීමට නොහැකිව තිබේ. එසේ තිබියදී එම ජනතාවගේ නිජබිම ප්‍රදේශ වන උතුරු – නැඟෙනහිර පළාත්වල පවතින පුරාවිද්‍යා ස්ථාන සියල්ල බෞද්ධ සිද්ධස්ථාන වශයෙන් හඳුන්වාදීම වෙනුවෙන් වන ක්‍රියාමාර්ග ඉතා ශිීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී. ඒ අනුව එම ස්ථානවල බෞද්ධ වෙහෙර විහාර, චෛත්‍ය, පිළිම ස්ථාපිත කරමින් දෙමළ ජනතාව වෙත බලහත්කාරයෙන් එම අනන්‍යතාව රැඳවීමේ උත්සාහයක වත්මන් ආණ්ඩුව නිරත වන බව පෙනී යයි.

වෙඩුගුනාරි පර්වතය, කුරුදුමලෙයි, නිලාවරෙයි, නෙඩුන්තීව්, නාවර්කුලී, මයිලිට්ටි, මන්නිතලෙයි, උරුත්තිපුරම්, කච්චතිව්, කින්නියා උණුදිය උල්පත්වල සිට මේ වනවිට නෙඩුන්තිව් වෙඩිඅරසන් බලකොටුව දක්වාවම ඔවුන්ගේ ආක්‍රමණ ව්‍යාප්තව තිබේ. දෙමළ ජනතාව යනු මේ රටේ අතීතයේ සිටම ජීවත් වූ ජන කොටසක් වන අතර ඔවුන්ට අනන්‍ය වූ ඉතිහාසයක් මෙන්ම උරුමයක්ද පවතී. බෞද්ධ ධර්මය යනු ආගමක් මිසක සිංහල ජනතාවගේ අනන්‍යතාවක් නොවන බව වටහා නොගත් වත්මන් ආණ්ඩුව බෞද්ධාගමික සංස්කෘතිය දෙමළ ජනතාව වෙත බලහත්කාරයෙන් පැටැවීමට උත්සාහ කරයි. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මුවාවෙන්  එය ඉතා සූක්ෂ්මව සිදුවෙයි. මෙම කටයුත්ත වහා නතර කළ යුතුය. නෙඩුන්තීව් විෂ්ණු පුත්‍ර වෙඩිඅරසන් බලකොටුවේ ඇති දෙමළ පාරම්පරික ඉතිහාසය වෙනස් නොකොට ආරක්ෂා කිරීමට වහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.