hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 13, පෙ.ව. 3:39



උපකාරක පන්ති සඳහා පැමිණි සිසුවියන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර උපකාරක පන්ති ගුරුවරයා එළැඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනවා.

කළුතර ප්‍රදේශයේ උපකාරක පන්ති සඳහා සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර සහ අපයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට චෝදනා එල්ලවී තිබුණා.

කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් මෙම පුද්ගලයාව ඊයේ (12) කළුතර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

මෙම සැකකරු විසින් කළුතර උතුර ප්‍රදේශයේ ගණිතය විෂය උගන්වන උපකාරක පන්තියක් පවත්වන අතරතුර දැරියන්ට බරපතළ ලිංගික අතවර සිදුකර තිබූ බව පොලීසිය අධිකරණය හමුවේ අනාවරණය කර තිබෙනවා.

පසුව සැකකරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ලද නිර්දේශ මත සැකකරුව බන්ධනාගාරගත කර මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කරන ලෙසට පොලීසිය අවසර ඉල්ලා තිබෙනවා.

ඒ අනුව සැකකරුව මැයි මස 15 වනදා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමුකරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය අවසර ලබාදී තිබුණා.

කෙසේවෙතත් විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සඳහන් කළේ සිය සේවාදායකයා එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසත්ය.

පසුව කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය විසින් නඩුව මැයි මස 26 වනදා යළි කැඳවීමට නියම කළා.