hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 10, ප.ව. 2:36



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට ඇති වූ සිදුවීම වාර්තා කිරීම සඳහා එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන් හට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අමානුෂික ආකාරයෙන් පහරදීම හෙළා දකිමින් මහනුවර, ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක මාධ්‍යවේදීන් විසින් විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

මහනුවර විරෝධතාවයේ අදහස් දැක්වූ මහනුවර වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති කමල් සුරවීර මහතා කියා සිටියේ ප්‍රවෘත්තියක් ආවරණය කිරීම සඳහා එම ස්ථානයට ගිය නිරායුධ මාධ්‍යවේදීන් තමන්ගේ අනන්‍යතාවය පෙන්වා සිටියදීත් දිගින් දිගටම පහර දෙමින් සිදු කළ අමානුෂික ප්‍රහාරය මාධ්‍ය නිදහසට එල්ල කළ ප්‍රහාරයක් බවයි.

නිරායුධ මාධ්‍යවේදීන් හට ප්‍රහාර එල්ල කළ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් හට මෙන්ම ඔවුන්හට අණ දුන් නිලධාරියා හට එරෙහිව දැඩි නීතිමය පියවර ගත යුතු බවත් එසේ නොකළ හොත් මාධ්‍යවේදීන් වශයෙන් රට පුරා දැඩි විරෝධතා පවත්වන බවත් ඒ මහතා සඳහන් කළා.

මෙම විරෝධතාවයට මාධ්‍ය සංවිධාන නියෝජිතයන් , සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙනවා.

මහනුවර – කමල් සුරවීර / ගාල්ල – ලලිත් චාමින්ද