hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 07, පෙ.ව. 10:22



පාලනය වෙනස් කිරීමෙන් රටට සෙතක් වේයැයි සිතා අවුරුදු 75 ක් තිස්සේ මේ රටේ ජනතාව එය සිදුකළ නමුත් අපේක්ෂිත ප්‍රතිපලය නොලැබුණු බවත් එසේ නම් දැන් කළ යුත්තේ පාලනය වෙනස් කිරීම නොව පවතින සිස්ටම් එක වෙනස් කිරීම බවත් පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් පවසනවා.

පාරක් නොමැතිව අද අපි දුවමින් සිටින බවත් මුලින් කළ යුත්තේ දිවීම නතර කර පාරක් හදා ගැනීම බවත් ඒ සඳහා යෝජනා තුනක් තමන් වහන්සේ විසින් රටට ඉදිරිපත් කරන බවත් උන්වහන්සේ කියා සිටියා.

මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක අදාළ යෝජනාවලිය පිළිගැන්වීමෙන් අනතුරුව පෙරේදා (05) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පිටිදූවේ සිරිධම්ම හිමියන් මේ බව ප්‍රකාශ කළා.

එහිදී උන්වහන්සේ මෙසේද පැවසුවා.

“අපි අවුරුදු හැත්තෑ පහක් තිස්සේ දේශපාලනඥයෝ රටට සෙතක් කරාවි කියා බලා සිටියා. මම හිතන්නේ අපි අසූවක් බලාගෙන ඉන්න ඕනේ නැහැ කියලයි. දේශපාලනඥයින්ගෙන් රටට අවශ්‍යය කරන වැඩපිළිවෙළ හැදෙන්නේ නැත්නම් මල්වතු මහ නාහිමියන්ද අනෙකුත් නිකායන්හි මහනායක හිමිවරුද සෙසු ආගමික නායකයින්ද ඇතුළුව පොදුවේ ශ්‍රීලාංකිකයින් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් භේදයෙන් තොරව එකතු වී හොඳ වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළ යුතුයි.

මම ඉදිරිපත් කරනවා කරුණු තුනක්. අපි මුලින් සිස්ටම් එකක් හදාගන්න ඕනේ. ඒක හරියට දුවන්න හොඳ පාරක් මුලින් හදාගන්නවා වගේ වැඩක්. අපි දැන් කරන්නේ පාරක් නැතුව හිතෙන හිතෙන් තැනින් දුවන එකයි. මම ඉදිරිපත් කරන යෝජනා තුනෙන් පළමුවැන්න තමයි සියලුම දේශපාලනඥයිනුත් ඔවුන්ගේ පවුල්වල අයත් සියලුම රාජ්‍ය නිලධාරිනුත් විගණනයට හා විමර්ශනයකට ලක්විය යුතුවීම. අපිට ජාතික වැඩපිළිවෙළක් නැහැ. එක ආණ්ඩුවක් ඇවිල්ලා කරන දේ ඊලග ආණ්ඩුව නතර කරනවා. දශක ගණනාවක් තිස්සේ සිද්ධ වුණේ මේකයි. වසර දහයක් සඳහා කිසිදු කෙනෙකුට වෙනස් කළ නොහැකි ජාතික වැඩපිළිවෙළක් හදන්න ඕන කියන එක මගේ දෙවන යෝජනාවයි.

දේශපාලනඥයෝ මාරු වුණාට වැඩපිළිවෙළ මාරු වෙන්න බැහැ. ඒක තමයි අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙළ. තුන්වන යෝජනා තමයි දේශපාලනයේ නිරත සියලු අය වරප්‍රසාද, වරදාන නොගෙන ස්වේච්ඡාවෙන් තමන්ගේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දේශපාලනයක නිරත වෙන්න ඕන. මේ වෙලාවේ අපි ඉතාම අසීරු තත්ත්වයකට වැටිලා ඉන්නේ. අපේ සංචිත බිංදුවට වැටිලා. මෙහෙම කොහොමද ඉස්සරහට යන්නේ. හෙට දවස ගැන අපිට විශ්වාසයක් නැහැ. තෙල්, ගෑස්, බෙහෙත් තියෙයිද කියන ප්‍රශ්නය හැමෝටම තිබෙනවා. පිටරට වල ඉන්න විවිධ අය අපේ රටට ආයෝජන ගේන්න කැමතියි. රටේ ඉන්න පාලකයන් ගැනත් මෙතෙක් කල් ක්‍රියාත්මක වුණු වැඩපිළිවෙළ ගැනත් ඔවුන්ට විශ්වාසයක් නැහැ. මෙන්න මේ විශ්වාසය ගොඩ නැගීමට මම ඉදිරිපත් කළ යෝජනා ඉවහල් වෙනවා.

පිටරට වල ඉන්න සියලු දෙනාම එකතුවෙලා ඖෂධ ගන්න මහ බැංකුවට උදව් කරන්න ලෑස්තියි. ඒ අරමුදල ඩොලර් බිලියනයක් දක්වා ඉහළට ගේන්න අපට පුළුවන්. ජාති,ආගම් භේද බලන්නේ නැතුව ශ්‍රී ලාංකිකයෝ ලෙස හිතලා අපි එකතු වෙන්න ඕන.ඒ සල්ලි කවුරුවත් ගන්නේ නැහැ. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙනම වෙන් කරනවා බෙහෙත් ගන්න.” යැයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නා.