2026 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:10
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගැනීමේදී වඩාත් ප්‍රවේශම් වන ලෙස දෙමාපියන්ගෙන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටී. අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, දරුවන් සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට එක් කිරීම හේතුවෙන් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට මෙන්ම ආරක්ෂාවට ද බරපතළ අවදානම් ඇති විය හැකි බවයි.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවල අන්තර්ගතයන්ගෙන් මුදල් ඉපැයීමේ අවස්ථා පුළුල් වීමත් සමඟ, දෙමාපියන්ගේ කැමැත්ත ඇතිව හෝ නොමැතිව දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට එක් කිරීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වාණිජ අරමුණු සඳහා දරුවන්ගේ වීඩියෝ භාවිත කරන පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳව ද තොරතුරු වාර්තා වී ඇති අතර, එම අන්තර්ගතයන් බොහෝ විට දරුවන්ගේ දක්ෂතා හෝ ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කරන වීඩියෝ ලෙස ඉදිරිපත් කරන බව අමාත්‍යාංශය පවසයි.
දරුවෙකුගේ දෛනික චර්යාව, ගමන්බිමන් සහ ජීවන රටාව පිළිබඳ තොරතුරු අනාවරණය කරන වීඩියෝ සහ වීලොග් මඟින් බාහිර පුද්ගලයන්ට ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීමට අවස්ථාව සැලසිය හැකි අතර, එමඟින් දරුවන්ගේ ආරක්ෂාව අවදානමට ලක්විය හැකි බවට ද අමාත්‍යාංශය අනතුරු අඟවයි. කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ වේගවත් වර්ධනය සම්බන්ධයෙන් ද අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.
අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ, ඔවුන්ගේ අනුමැතියකින් තොරව අසභ්‍ය හෝ ලිංගිකව ප්‍රකාශිත ව්‍යාජ අන්තර්ගතයන් නිර්මාණය කිරීම සඳහා අනිසි ලෙස භාවිත කළ හැකි බව එහි සඳහන් වේ.
එබැවින් දරුවන් සම්බන්ධ ඡායාරූප, වීඩියෝ සහ අනෙකුත් අන්තර්ගතයන් සමාජ මාධ්‍යවල පළ කිරීමේදී හෝ එවැනි අන්තර්ගතයන් පළ කිරීමට අවසර දීමේදී වගකීමෙන් හා සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන්, භාරකරුවන් සහ දරුවන්ගේ රැකවරණය හා ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
2026 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:24
2026 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:06