hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 ජූලි 20, පෙ.ව. 9:36



ජනාධිපති තෝරාගන්නා ජන්ද විමසීමේදී අද (20) මැතිසබයේදී සිය ඡන්දය ඡායාරූපගත නොකරන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.

අදාළ නීතිරීතිවලට අනුගත වෙමින් කටයුතු කර අවශ්‍ය සහාය දෙන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන කාරක සභාවේදී සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපති තොරාගන්නා ජන්ද විමසිමේදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම ජන්දය ඡායාරූප ගත කළහොත් ඔවුන්ට  පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක අසුන් ගැනිම වසර 7කට අහිමි කිරීමට හෝ මාස හයක සිර දඬුවමකට යටත් කිරීමකට හෝ  නීතිමය ප්‍රතිපාදන පවතින බව වාර්තා වනවා.

වසර 1981 අංක 2 දරන ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනතේ 20 වැනි වගන්තිය මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීම හෝ බල කිරීම තහනම් කිරීම ඇතුළුව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධ නීති රීති දක්වා තිබෙනවා.

ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී සිය මන්ත්‍රීවරුන්ට එය ඡායාරූපගත කරන ලෙස පක්ෂ නායකයෙකු උපදෙස් දී තිබීම නිසා මෙම උපදෙස් දුන් බව ද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

අද දින පැවැත්වෙන රහස් ඡන්ද විමසීමේ තේරීම්බාර නිලධාරියා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත අනුව අවශ්‍ය සියලු මාර්ගෝපදේශයන් මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති බවයි.

මේ අතර, පාර්ලිමේන්තුව යළි ලබන (27) පෙරවරු 10.00ට රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.