hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 15, ප.ව. 8:13



ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කර ඇති සිංහලයේ මහා සංස්කෘතික මංගල්‍යය වූ මහනුවර ඇසළ මහා පෙරහැර සඳහා විදුලිය සැපයීමට අවශ්‍ය නම් විදුලිය පිරිවැය අදාළ මුදල් ගෙවන ලෙස විදුලිබල මණ්ඩලය දළඳා මාළිගාව සහ සතර මහා දේවාල වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඉතිහාසයේ පළමු වතාවට මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ සඳහා පුර්ව ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති අතර රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ අනූ නව දහස් දහයක මුදල සාමාන්‍යාධිකාරී විදුලිබල මණ්ඩලය නමින් ලියන ලද චෙක්පතක් මඟින් ගෙවීමට කටයුතු කරන ලෙසයි අදාළ ලිපියේ සඳහන්ව ඇත්තේ.

මෙම ඇස්තමේන්තුව විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) එච්. එස්. බණ්ඩාරගේ අත්සනින් යුතුව ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේවරයා ඇතුළු සතර මහා දේවාල බස්නායක නිලමේවරුන් වෙත යොමුකර තිබෙනවා.

අගෝස්තු 21 සිට 31 වන දින දක්වා පෙරහැර විථි සංචාරය කිරීමට නියමිතයි.

එහිදී ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය, සතර දේවාල, පෙරහර වීදී සංචාරය කරන ප්‍රදේශ හා ජනතාව ගැවසෙන ස්ථාන වලට අවශ්‍යය අමතර විදුලි ආලෝකකරණ කටයුතු සහ අනෙකුත් විදුලි පිරිවැටුම් කටයුතු සඳහා මෙම පිරිවැය ඇස්තමේන්තුව සකස් කර තිබෙනවා.

අදාළ ඇස්තමේන්තුවට අනුව ශ්‍රී දළදා මාලිගාව මඟින් ගෙවිය යුතුව ඇති මුදල රුපියල් 34,12,479 ක් ද නාථ දේවාලය මගින් රුපියල් 11,22,145 ක් ද විෂ්ණු දේවාලය මගින් රුපියල් 13,68,385 ක් ද කතරගම දේවාලය මගින් 11,02,705 ක් ද පත්තිනි දේවාලය මගින් 11,02,705 ක් ගෙවිය යුතු බවද විදුලිබල මණ්ඩලය විසින් දැනුම් දී ඇති බව සඳහන්.

තවද මහනුවර නගරය තුල පෙරහැර ගමන් ගන්නා සියළුම විථි අලෝකරණය සඳහා විදුලිබල මණ්ඩලය රුපියල් 44,41,273 ක්ද ජනක යන්ත්‍රය සඳහා වැයවෙන මුදල රුපියල් 7,49,215 ක මුදලක් වැය වනු ඇති බව එම මණ්ඩලය සකස් කර ඇති ඇස්තමේන්තුව දැක්වෙනවා.

මේ අනුව පෙරහැර වෙනුවෙන් රුපියල් 1,32,99,010 මුළු වියදමක් විදුලිබල මණ්ඩලය විදුලි ආලෝකය සැපයීම වෙනුවෙන් වැය කරන බව දැනුම් දී තිබෙනවා.