hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 11, පෙ.ව. 10:02



මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීම සදහා විශාල පිරිසක් මේ වන විට සෙංකඩගල පුරවරයට පැමිණෙනවා.

මහනුවර ඇසළ පෙරහැර අවසන් රන්දෝලි පෙරහර අද (11) නිකිණී පෙහෝ දිනයේ වීදී සංචාරය කරනවා.

ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.35ට වයඹ දිශාභිමුඛව පිටත්වන පෙරහැර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ට අවතීරණ වී රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිත ව තිබෙනවා.

පෙරහර දකින සැමගේම වැඩිම අවධානයක් දිනා ගන්නා අංගය වන්නේ ඇත් පන්තිය එහෙමත් නැත්තම් පෙරහරේ ගමන් කරන අලි ඇතුන්.

ශ්‍රී දළදා මාලිගාව සතු ඇත් පන්ට්ජිය දළ ඇතුන් 9ක් සහ අලින් තිදෙනෙකුගෙන් සමන්විතයි.

ශ්‍රී දළදා මාලිගාවෙන් මෙවර පෙරහර මංගල්‍යයට සහභාගි වන්නේ දළ ඇතුන් හය දෙනකු පමණයි.

නමුත් කෝට්ටේ රාජා ඇතුළු දළ ඇතුන් එකළොස් දෙනෙක් මෙවර පෙරහර අලංකාර කරනවා.

පෙරදා රාත්‍රියේ පෙරහරට දායකත්වය ලබා දුන් අලි ඇතුන්ට තෛලමය සත්කාරයක් සිදු කරනු ලබනවා.

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය වසන්ත කරසිංහආරච්චි මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මේ තෙල් අලින්ට ගාපුවාම විශේෂයෙන් කකුල් වල තියෙන අමාරුව නැති වී යනවා. දද, කුෂ්ඨ, තුවාල වගේ ඒවා සියල්ල සමනය වෙනවා. මේක කවුරුත් ලෝකයේ කරලා නැහැ.”

ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය සමඟ වසර ගණනාවක් බැදුනු නාමයක් වන්නේ නැදුන්ගමුවේ රාජායි.

වසර ගණනාවක් පෙරහර කරඩුව වැඩම කළ නැදුන්ගමුවේ රාජා දහස් සංඛ්‍යාත ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍ර වූ ඇත් රජෙක්.

පසුගිය වසරේ ඇසළ පෙරහර මංගල්‍යයේ කරඬුව වැඩම වූ නැදුන්ගමුවේ රාජා මෙවර පෙරහර මංගල්‍යයට සහභාගි නොවන්නේ පසුගිය මාර්තු 7 වනදා මෙලොවින් සමු ගත් නිසා.

අදටත් දළදා මාලිගාවේ ඇත් පන්තියේ දළ ඇතුන්ට නැදුන්ගමුවේ රාජාගේ අඩුව දැනෙන බවට සැකයක් නැහැ.

නැදුන්ගමුවේ රාජා රැක බලා ගත් කළු මාමාද මෙවර පෙරහර මංගල්‍යයේ දකින්නට නැහැ.

ඉන්දි රාජා භාර ඇත්ගොව්වා වන සුසන්ත සුරංජිත් අබේපාල මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“ගිය පාර පෙරහරට ඇවිදින් එයා කිව්වා මේ පාර එන්නත් පුලුවන් නොඑන්නත් පුලුවන් කියලා. මේ පාර වඩම්මන අන්තිම පෙරහර කියලා අපිට කිව්වා. කළු මාමා ගැන කියන්න අපිට දුකයි. ගොඩක් කාලයක් ආශ්‍රය කරලා හිටියනේ.”

නැදුන්ගමුවේ රාජා එලෙස දිවි ගමනෙන් සමු ගත්තේ හීලා අලි ඇතුන් ගැන විශාල වෙනසක් රට තුළ නිර්මාණය කරමින්.

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ ද හීලා අලි ඇතුන්ගේ අඩුව දැඩිව දැනෙමින් පවතිනවා.

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය භාර ප්‍රදීප් මියනපලාව මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මෙවර සමස්ත පෙරහරේ අලි ඇතුන් 65ක් පමණ ගමන් කරනවා. අවසන් මහා රන්දෝලි පෙරහරේ දළදා මාලිගාවේ අලි ඇතුන් 25කුත් ඔක්කොම 65ක් වගේ සංඛ්‍යාවක්. මෙවර ප්‍රධානතම ඇතා ලෙස ඉන්දිරාජා ඇතා තෝරා ගෙන ඉන්නවා. අද ලංකාවේ හීලා අලි ඇතුන් 110ක් වගේ ප්‍රමාණයක් ඉන්නේ.”