hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 16, පෙ.ව. 9:53



මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන ජනරජ පෙරහර පෙබරවාරි 19 වැනිදා මහනුවර නගරයේදී වීථි සංචාරය කිරීමට නියමිතයි.

75 වැනි නිදහස් සැමරුමට සමගාමීව මෙය සංවිධාන කර තිබෙන අතර එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

පෙබරවාරි 19 දා ප.ව 6.30ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවැදීමෙන් පෙරහරේ කටයුතු අවසන් වන බව ශ්‍රී දළදා මාළිගාවේ සම්බන්ධීකරණ හා සංස්කෘතික නිලධාරි ජයම්පති වැද්දාගල මහතා පැවසුවා.

වාර්ෂික ඇසළ පෙරහර මෙන්ම අලි ඇතුන් සහ නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහර සංස්කෘතිකාංගවලින් මෙම ජනරජ පෙරහර විචිත්‍රවත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ද ජයම්පති වැද්දාගල මහතා වැඩිදුරටත් පැවසුවා.

නමුත් මෙම පෙරහරේ දී දන්ත ධාතූන් වහන්සේ වැඩම වීමක් සිදු නොකරන අතර, ඒ වෙනුවට ජනරජ ලාංඡනය ප්‍රදර්ශනය කරමින් වීථි සංචාරය කිරීම පමණක් සිදු කෙරෙනවා.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ද අරමුණු කර ගනිමින් මෙය සංවිධාන කෙරෙන අතර පෙරහර නැරඹීම සඳහා පැමිණෙන ජනතාවට නුවර පෙරහර මාර්ගයේ ඉඩ පහසුකම් සලසා තිබෙනවා.

රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කෙරෙනවා.

මෙම ආකාරයට සංවිධාන කළ පළමු පෙරහර 1875 දී පවත්වා ඇති අතර, ඒ වික්ටෝරියා රැජිණගේ පුත් වේල්ස්හී ආදිපාදවරයා ශ්‍රී ලංකාවට පැමිණීම මුල් කර ගනිමින්.

1954 දී ලංකාවේ රාජ්‍ය නායිකාව වූ දෙවැනි එලිසබෙත් රැජිණ ලංකාවට පැමිණීමෙන් පසුව ජනරජ පෙරහර පවත්වා ඇති අතර රැජිණ පත්තිරිප්පුවෙහි සිට එය නැරඹූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

1981 වසරේදී ද මෙවැනි පෙරහරක් පැවැත්වුණා.

එය නැරඹීම සඳහා ද දෙවැනි එලිසබෙත් රැජිණ පැමිණ ඇති අතර මහ මළුවේ තැනූ විශේෂ පීඨිකාවක සිට පෙරහර නරඹා තිබෙනවා.

1987 වසරේ එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ද ජනරජ පෙරහරක් පවත්වා තිබෙනවා.