hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 20, පෙ.ව. 2:16



ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එය මිලදී ගැනීම සඳහා “ජනතා සමාගමක්” ස්ථාපිත වෙමින් පවතින බව එම ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසුවා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව “ශ්‍රීලන්කන් මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් වී නැහැ” යන ප්‍රවෘත්තියට ප්‍රතිචාර පළ කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ එම වෘත්තීය සමිති කාර්යාලයේදී සංවිධානය කර තිබුණා.

මෙහිදී මුලින්ම අදහස් දැක්වූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න, ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මිල ගණන් කැඳවීමක් හෝ අභිලාෂ කැඳවීමක් සිදු කර නොමැති බවත්, එවැනි පසුබිමක එය මිලදී ගැනීම සඳහා කිසිවකු ඉදිරිපත් නොවීම සාමාන්‍ය තත්ත්වයක් බවත් පැවැසුවා.

එසේ ප්‍රතිව්‍යුහගත කිරීමක් 2016 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් සිදුවී තිබූ අතර, ඒ සඳහා ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳව අභිලාෂ කැඳවීමේ නිවේදනය ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් කර තිබූ බව සඳහන් කළා.

එසේ අභිලාෂ හෝ මිල ගණන් කැඳවීමකින් තොරව, ශ්‍රීලන්කන් මිලදී ගැනීමට කවුරුත් නැහැ යනුවෙන් ප්‍රකාශ කිරීම කුමන්ත්‍රණයක් බවත්, අප දන්නා පරිදි ශ්‍රීලන්කන් මිලදී ගැනීම සඳහා දේශීය සහ විදේශීය ගැනුම්කරුවන් රාශියක් මේ වනවිට තමන්ගෙන්ද කරුණු  විමසා ඇති බව ජනක විජයපතිරත්න මහතා කියා සිටියා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් අසංක යසරත්න මහතා, එසේ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අභිලාෂ කැඳවීමක් සිදු වුවහොත් එය මිලදී ගැනීම සඳහා දැනටමත් ජනතා සමාගමක් ස්ථාපිත වෙමින් පවතින බවත්, එය ඉන්දියාවේ “අමූල්” කිරි නිෂ්පාදන සමාගම මෙන් එකක් බවත් කියා සිටියා.

මෙහිදී ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ජේ‍යෂ්ඨ සුපරීක්ෂක ලිවිස්ටන් දසනායක මෙහිදී අදහස් දක්වමින්, ශ්‍රීලන්කන් ගුවන් සේවය තුළ සේවක අතිරික්තයක් නොමැති බවත්, සේවකයන් විශ්‍රාම ගැන්වීමේ චක්‍රලේඛයක් මඟින් අත්‍යවශ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයක් දැනට විශ්‍රාම ගෙන ඇති බවත් පැවැසුවා.

තවදුරටත් ශ්‍රීලන්කන් ගුවන් සේවය තුළ අනවශ්‍ය සේවකයන් විශාල වශයෙන් රැඳී සිටින බවට ප්‍රකාශ වන තොරතුරු අසත්‍ය බවත්, ශ්‍රීලන්කන් තුළ රැඳී සිටීමට වසරකට විභාග සහ පරීක්ෂණ 08කට පමණ සහභාගි වී, තම යෝග්‍යතාව තහවුරු කර ගත යුතු බවද පැවැසුවා.

කටුනායක – ටී. කේ. ජී. කපිල





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: