hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 15, ප.ව. 1:15



හාම්පුතුන්ගෙන් එල්ල වන තාඩන පීඩන හා රෝග පීඩාදිය ඇතුළුව තමන් මුහුණ පාන ගැටලු ඉදිරිපත් කිරීමට තානාපති කාර්යාලයක් නොමැති වීමෙන් රුමේනියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 15,000කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට රුමේනියාවේ සේවය කරන අතර තවත් විශාල පිරිසක් අධික පිරිවැයක් දරා රුමේනියාවේ රැකියා සදහා විදෙස් ගත වෙමින් සිටිනවා.

මෙලෙස රුමේනියාවට සංක්‍රමණය වී සිටින බොහොමයක් එරට ආයතනවල මසක් දෙමසක් රැකියාව කරමින් සිටිය දී ඇතැම් ආයතන හිමිකරුවන් ඔවුන් රැකියාවෙන් ඉවත් කරන බවත් මේ නිසා ඉදිරි කාලයේ රුමේනියාවේ රැඳී සිටීමට වීසා බලපත්‍ර ලබාගැනීමට නොහැකි වී ඇති බවත් එරට රැඳී සිටින ශ්‍රමිකයෝ පවසනවා.

කොරෝනා වසංගතය කාල වකවානුවේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දැඩි ලෙස පීඩාවටත් අසරණ භාවයටත් පත්වූ බවද ඔවුන් පවසනවා.

එමෙන්ම ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත් වුවහොත් එම සිරුර ලංකාවට යැවීමට පවා දැඩි අසීරු තත්ත්වයක් උදාවී ඇතැයිද ඔවුන් පවසනවා.

මෙවැනි නොයෙක් දැඩි අපහසුතා පැවසීමට තානාපති කාර්යාලයක් හෝ රාජ්‍ය නිලධාරියෙක් නොමැතිවීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

රුමේනියාවේ සිට හරි හරිහම්බ කරන ඩොලර් ශ්‍රී ලංකාවට එවන තමන් වැනි පහළොස් දාහකට වැඩි සංඛ්‍යාවක් දෙස ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු කොට රුමේනියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටලූ සොයා බලා තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීමට නොහැක්කේ නම් අවම වශයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් හෝ පත් කරන ලෙස රුමේනියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි.