hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 30, පෙ.ව. 9:55



ලොව වටා රටවල් 23ක ගමනාන්ත 37ක් ආවරණය කරමින් පියාසර කරන ශ්‍රී ලංකන් ගුවන් සේවය සංචාරකයින් අතර ප්‍රචලිත වන්නේ ආගන්තුක සත්කාර වලින් ඉහළ ගුවන් සේවාවක් ලෙසින්.

1979 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගෙවී ගිය වසර 42 අතරින් පසුගිය දශකයකට ආසන්න කාලයේදී වැඩි ලාභ හා අලාභ සම්බන්ධයෙන් මතු වූ ගැටලු සමගයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය 1998 වසරේ සිට 2008 දක්වා කාලයේදී එමිරේට්ස් ගුවන් සේවාව සමග ඒකාබද්ධව සිය ව්‍යාපාරික කටයුතු සිදු කල අතර එම කාලයේදී උපයා ඇති ලාභය රුපියල් මිලියන 22ක්. 2010 වසරේදී සීමාසහිත ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම සංස්ථාගත කළ අතර ආරම්භයේ සිට බහුතර කොටස් ප්‍රමාණයක් පවතින්නේ රජය සතුවයි.

කෙසේවෙතත් 2010 වසරේ සිට මෙම ආයතනය අතිශය පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇති අතර මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පරම අයිතිය සතු එක් ගුවන් යානාවක්වත් නැහැ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලිත සමාගමක් වන ශ්‍රී ලංකා කේටරින් සමාගම පසුගිය වසර 10 තුල වැඩිම ලාභය වශයෙන් රුපියල් මිලියන 4760ක් උපයා ඇත්තේ 2019/ 2020 කාල සීමාවේ වන අතර එම දශකයේදී අලාභයක් ලබා ඇත්තේ 2020 / 2021 වසරේදී.

එම පාඩුව රුපියල් බිලියන 903ක්.

එමෙන්ම මෙරට පිහිටි සියලුම ගුවන් ගුවන්තොටුපල වල භූමි සේවා සැපයුම් සදහා පූර්ණ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට වන අතර එම අංශයෙන් පසුගිය වසර 10 තුළ පාඩු ලබා නැහැ.

මෙම අංශ දෙකෙන් සමාගම තරමක ලාභයක් උපයා ඇතත් සමස්තයක් වශයෙන් සෑම වසරකම ලබා ඇත්තේ දැඩි පාඩුවක්.

2011 වසරේ සිට මේ වසර දක්වා වසරින් වසර පාඩු ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සේවය එම අලාභයේ උපරිම අවස්ථාව ගත වූ 2021 / 2022 වසරේදී ලබා ඇත්තේ රුපියල් මිලියන 164733 ලෙසින්.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගත වූ වසර 10 තුළ ලබා ඇති පාඩුව රුපියල් මිලියන හාර ලක්ෂ පනස් හතර දහස් හත්සිය විසි එකක්.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2011 සිට වාර්ෂිකව මිලියන ගණනක් පාඩු ලැබීම හේතුවෙන් ඒවා පියවා ගැනීමට දේශීයව හා විදේශීයව ලබා ගෙන තවමත් පියවීමට ඇති ණය ඇමරිකානු ඩොලර් මිලියන 1.046ක්.

එය ශ්‍රී ලංකා රුපියල් බිලියන 401ක් වනවා.

ඒ අනුව සිදු කළ යුතු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එහි සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) එම අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපි ණය වෙලා තියෙනවා මේ වසරේදී අන්තර්ජාතික බැදුම්කරයකින් ඩොලර් මිලියන 175ක්. ශ්‍රී ලංකා කේටරින් ආයතනයේ කොටස් උකසට තබා ලංකා බැංකුවෙන් අයිරාවක් ලබා ගෙන තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 80ක්. මහජන බැංකුවට හා ලංකා බැංකුවට ගෙවීමට ඇති ණය ඇමරිකානු ඩොලර් මිලියන 386ක් ගෙවන්න තියෙනවා. ලංකා ඛණිජ තෙල් සංස්ථාව, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය යන ආයතනවලට ගෙවීමට ඇති හිග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 325ක්. බදු පදනම යටතේ ගත් ගුවන් යානා සදහා ගෙවීමට ඇති බදු කුලී ඇමරිකානු ඩොලර් මිලියන 80ක්. මේ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 1046 අපි ණය වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ රුපියල් බිලියන 401 ක් පමණ වෙනවා. ඒ නිසා අපිට මේ ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍යයයි.”

ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු පියවර ලෙස ශ්‍රී ලංකන් කේටරින් සමාගම සහ භූමි සේවා සැපයුම් සේවා අංශය 100%ක් පෞද්ගලිකකරණයට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවද මේ වන විට යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු වටිනාකම සහිත ආයතන 2 වන්නේ මෙම අංශ 2යි.

නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“ශ්‍රී ලංකන් කේටරින් එක යම් කොටස් ප්‍රමාණයක් විකුණලා ඒකෙන් සල්ලී ටිකක් අරගෙන ග්‍රවුන්ඩ් හැඩලින් වලට ඒක විකුණලා කොටස් ප්‍රමාණයක් අරගෙන ඒකේන් නැත්තම් ඩොලර් බිලියනයක් අරගෙන. ණය තියෙන සමාගමක් ගන්න කවුරුත් එන්නේ නැහැ. ශ්‍රී ලංකන් එකේ කොටස් 49ට හොද මිලක් ලබා ගන්න පුලුවන් වෙයි. එහෙම වුණොත් අපිට මේ ණය ඔක්කොම ටික ගෙවලා ඉවර වුණාම රජයට ලොකු බරක් නැති වෙනවා. 51%ක් අපිට තියාගෙන එහි පරිපාල නය හෝ එහි ආයෝජකයන්ගේ ඉල්ලීම අනුව ඊට වඩා වැඩි ප්‍රමාණයක් හෝ ලබා දීලා යම් මුදල් ප්‍රමාණයක් ලබා ගන්නවා. ඊලගට දැනට ග්‍රවුන්ඩ් හැඩලින් සදහා වෙනම සමාගමක් අපි හදනවා. ඒ සමාගමට චංචල හා නිශ්ඵල දේපළ දීලා එතනින් අපිට සාමාන්‍යයෙන් අවුරුද්දකට මිලියන 5000ක පමණ ආදායමක් ලැබෙනවා. 49%ක් විතරක් දුන්නට කවුරුත් එන්නේ නැහැ. පරිපාලනය දෙන්න ඕනේ. මේ දෙකෙන්ම ලැබෙන මුදල් වලින් අපි බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තියෙන ණය මුදල් ගෙවලා ණය බරින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මුදවන්න පුලුවන් ප්‍රමාණයකින්. ඒ නිසා අපිට දෙන්න පුලුවන් වෙන්නේ 49%ක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: